Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙවැනි දිනයේ ඩිල්රුවන්ගෙන් දස්කම්

දෙවැනි දිනයේ ඩිල්රුවන්ගෙන් දස්කම්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය.

දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කෞෂාල් සිල්වා (නොදැවී 38) සහ කුමාර් සංගක්කාර (නොදැවී 36) දෙවැනි කඩුල්ලට ලකුණු 75 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

තරගයේ පළමු දිනය වූ පෙරේදා (06) ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 261 ක් ලබා සිටි පාකිස්තානු පළමු ඉනිම ඊයේ තේ විවේකයට පෙර ලකුණු 451 කට සීමා විය.

එහිදී ඩිල්රුවන් පෙරේරා, ශ‍්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 137 කට කඩුලූ 5 ක් දවාගත්තේය. ඊයේ දිනයේ බිද වැටුණු කඩුලූ හයෙන් පහක්ම දවා ගැනීමට ඩිල්රුවන් සමත් වීම කැපී පෙනුණි. ඩිල්රුවන් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 ක් දවාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු මේ වන විට ටෙස්ට් ඉනිම  10 කදී කඩුලූ 32 ක් දවාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත් ලකුණු 116 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.   

ඩිල්රුවන් පෙරේරා යැවූ දිවා විවේකයෙන් පසුව පස්වැනි  ඕවරයේදී ෂෝට් මිඞ්විකට්හි පන්දු රකිමින් සිටි කිත්රුවන් විතානගේ රැකගත් උඩපන්දුවක් සමග යුනිස් ඛාන් හයවැනි කඩුල්ල ලෙස ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්තේය. ඒ වන විට සියලූ වගකීම් ඉටුකර සිටි යුනිස් ඛාන් පන්දු 331 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 177 ක් තම නම ඉදිරියෙන් සටහන්කරගෙන තිබුණි.  

රංගන හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අසාද් ශාෆීක් (75) ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. යුනිස් ඛාන් සහ අසාද් ශාෆීක් පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 137 ක සම්බන්ධතාව මෙම තරගයේ තීරණාතමක සාධකයක් බවට පත්වීමට ඉඩ තිබේ.

පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ රංගන හේරත් පැවසුවේ පාකිස්තානයට පීඩනයක් යොමු කිරීමට නම් ශ‍්‍රී ලංකා පිල තරගයේ තෙවැනි දිනය වන අද (08) සම්පූර්ණ දිනයම පන්දුවට පහරදිය යුතු බවයි.

”අපි තව ලකුණු 350 ක් විතර ලබාගත යුතුයි. ඒ කියන්නේ හෙට දවසේ අදියර තුනේම පන්දුවට පහරදීම වැදගත් වෙනවා, ඒ සදහා කඩුලූ අතේ තබාගත යුතුයි.

පාකිස්තානු පිලට පීඩනයක් යොමු කිරීමට නම් අපි ලකුණක් හරි ඉදිරියෙන් ඉන්නේ  ඕනේ, අපිට ලකුණු 150 ක් පමණ ඉදිරියට එන්න හැකිනම් ඒක තමයි වඩාත් හොද”

දකුණු අප‍්‍රිකාවට එරෙහිව අවසන් ටෙස්ට් තරගය පැවැති එස්.එස්.සී. තණතීරුව මෙන් ගාල්ල තණතීරුව දග පන්දු යවන්නන්ට සහයෝගයක් දක්වනේ නැද්ද යන ප‍්‍රශ්නයට රංගන මෙසේ පිළිතුරු සැපයීය.

”මේ වන විට තණතිරුවෙන් ලකුණු 550 ක් විතර ලැබී තිබෙනවා. මම හිතන්නේ මේ දක්වා තණතීරුව පිතිකරුවන්ට හොදයි. තුන්වැනි සහ හතරවැනි දින වන විට තණතීරුව දග පන්දු යවන්නන්ට උචිත විදියට දග කැවෙන, පන්දුව ඉපිළෙන තත්ත්වයට පත්වෙයි”

”ඩිල්රුවන්ගේ පන්දු යැවීමෙන් මටත් සහයොග්යක් ලැබෙනවා. ඒ වගේම මගේ පන්දු යැවීමෙන් ඔහුටත් සහයෝගයක් ලැබෙනවා. අපි වැඩි  ඕවර සංඛ්‍යාවක් යවන නිසා ඇන්ජලෝ සෑම විටම විවේකයක් ලබාදී පන්දු යැවීමට යොදා ගන්නවා” යැයි රංගන වැඩි දුරටත් පැවසීය.

හෙට (08) තරගයේ තෙවැනි දිනයයි.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

දෙවැනි දිනයේ ඩිල්රුවන්ගෙන් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.