Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අපි‍්‍රකානුවන් පරාජයෙන් ගැලවීමේ සටනක

දකුණු අපි‍්‍රකානුවන් පරාජයෙන් ගැලවීමේ සටනක

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුමාර් සංගක්කාර (72) සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව විනාඩි 70 ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ගොඩනැංවූ ලකුණු 81 ක සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය ජයගැනීමට නම් ලකුණු 369 ක් ලබාගන්නා ලෙස ශී‍්‍ර ලංකා පිල අභියෝග කළ නමුත් අභියෝගයට පිටුපෑ දකුණු අපි‍්‍රකානුවෝ පරාජයෙන් ගැලවීමේ සටනක යෙදී සිටිති. තරගයේ සිවුවැනි දිනය වන අද (27 වැනිදා) මන්දාලෝකය නිසා පස්වරු 4.45 ට පමණ තරගය නතර කරන විට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය.

අද නියමිත කාලයට පෙර තරගය නතර කළ හෙයින් තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ කෙරෙන අතර හෙට දිනයේදී  ඕවර 98 ක් යැවිය යුතුව තිබේ.

මේ වන විට ඉතාමත් තියුණු ලෙසින් දග කැවෙන එස්. එස්. සී. තණතීරුවේදී දකුණු අපි‍්‍රකානුවන්  ඕවර 98 කින් ලකුණු 331 ක් හඹා යාම අපේක්‍ෂා කළ නොහැකි බැවින් තරගය ජයගැනීමට නම් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් විසින්  ඕවර 98 කදී තවත් කඩුලූ 9 ක් දවාගත යුතුය. එහෙත් හදිසියේම ඇතිවී තිබෙන කාලගුණික වෙනස්කම් අනුව එය කෙතරම් දුරට සාර්ථක වේද යන්න පිළිබඳව විමසිල්ලෙන් බලා සිටිය යුතුය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තේ පානයෙන් මඳ වේලාවකට පසුව කඩුලූ 8 කට ලකුණු 229 ක් ලබා ඉනිම නතර කරන විට මුල් ඉනිමේදී ලද ලකුණු 139 ක වාසියත් සමගින් ශ‍්‍රී ලංකා පිල ලකුණු 368 කින් ඉදිරියෙන් සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 63 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදීත් විශිෂ්ට පිතිහරඹයක යෙදී නොදැවී ලකුණු 63 ක් ලබමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙවන් ශක්තිමත් තත්ත්වයකට කැඳවාගෙන ආවේය.

විනාඩි 131 ක් පිටියේ රැුඳුණු ශී‍්‍ර ලංකා නායකයා හතරේ පහර 2 ක් සහ දැවැන්ත හයේ පහර 2 ක් තම ඉනිමට ඇතුළත් කළේය.

දිවා ආහාරය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී එස්. එස්. කී‍්‍රඩාංගණයට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වූ අතර තේ පානයට අඩ හෝරාවක් පමණ තිබියදී දැවැන්ත කළු වළාවකින් කී‍්‍රඩාංගණය අන්ධකාර වීමෙන් තරගය අත්හිටුවන ලදි. වර්ෂාවට බියෙන් තණතීරු ආවරණ ගෙන ආවද වර්ෂාව නොපැමිණි හෙයින් කලින් නියම කළ වේලාවට පෙර තේ පානය කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

පළමු ඉනිමේදී විශිෂ්ට ශතකයක් ලබාගත් මහේල ජයවර්ධන දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය නමුත් මේ වතාවේදී බර කරට ගත් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක් එක් කළහ. පන්දු 90 කට මුහුණ දුන් සංගක්කාරගේ ඉනිම හතරේ පහර 8 කින් හැඩ වී තිබිණ.

අද පෙරවරුවේදී තරගය ආරම්භ කළ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා තරගය පැවැති පැය දෙකක කාලයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 97 ක් ලබාගන්නා අතරේ කඩුලූ 3 ක් බිඳ වැටිණ. දිවා ආහාරයත් තේ පානයත් අතර තුර විනාඩි 79 කදී ලකුණු 95 ක් රැස්කර තිබිණ.

ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී බිඳ වැටෙන කඩුලූ සංඛ්‍යාවට වඩා වැදගත් වූයේ ලබාගන්නා ලකුණු සංඛ්‍යාවයි. ශී‍්‍ර ලංකා පිලේ අරමුණ වූයේ ලකුණු 350 කට මඳක් වැඩි ප‍්‍රමාණයක් රඳවා ගනිමින් තේ පානයෙන් පසුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකානුවන් වෙත පැවරීමයි.

තුන්වැනි විනිසුරු බිලී බවුඩන් මහතාගේ ඉතාමත් විවාදාත්මක තීරණයක ප‍්‍රතිඵලයක් වශයෙන් මහේල ජයවර්ධන ලකුණු නොලබා දැවී රැුගියේය. කෞෂාල් සිල්වා දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මහේල ජයවර්ධන මුහුණ දුන් 6 වැනි පන්දවට රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට උත්සාහ කළද මහේලගේ වම් බාහු ආවරණයේ වැදුණු පන්දුව ඉහළ යද්දී ඒ වෙත පැන්න කී‍්‍රඩකයන් තිදෙනා අතුරින් ඞීන් එල්ගා පන්දුව රැකගත්තේය.

ප‍්‍රධාන විනිසුරු නයිජල් ලොන්ග් එය දැවී යාමත් ලෙස ප‍්‍රකාශ කළ නමුත් මහේල විනිසුරු තීරණය විමසා සිටියේ වේදනාව ඇතිවන තැන අනුව පන්දුව වැදුණේ කොතැනද යන්න ඔහු දැන සිටි බැවිනි.

කෙසේ වෙතත් බොහෝ වේලාවක් එම සිදුවීමේ පුනරූපන විමර්ශනය කරමින් සිටි තුන්වැනි විනිසුරු බිලී බවුඩන් මහතා කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහා සම්ප‍්‍රදාය වන ‘සැකයේ වාසිය පිතිකරුවාට’ යන්නත් අමතක කරමින් මහේල ජයවර්ධන දැවී ගිය බව නයිජල් ලොන්ග් මහතාට දැන්වීය.

මහේල ජයවර්ධන නිහඬවම ආපසු කී‍්‍රඩාගාරයට ගියද දෙපසට වැනුණු හිසෙන් තමන්ට ලැබුණු තීරණය පිළිබඳ ඔහුගේ කණස්සල්ල පැහැදිළිව දැකගත හැකි විය.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

දකුණු අපි‍්‍රකානුවන් පරාජයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.