Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අම්ලා - ඩිවිලියර්ස් කණ්ඩායම ගොඩගැනීමේ උත්සාහයක

අම්ලා - ඩිවිලියර්ස් කණ්ඩායම ගොඩගැනීමේ උත්සාහයක

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි  ඕවරයේදීම ඇල්විරෝ පීටර්සන් දවගත් රංගන හේරත් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් තිදෙනා විසින් කල් වේලා ඇතිවම තරගයේ පාලනය අතට ගන්නා ලද නමුත් ෆෆ් ඩු ප්ලෙසි (36) සහ ඒ. බී. ඩිවිලියර්ස් (නොදැවී 11) සමග එක්ව දකුණු අපි‍්‍රකානු පිල වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමට නායක හසිම් අම්ලා දැඩි වෙහෙසක් ගනිමින් සිටී.

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (25 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට දකුණු අපි‍්‍රකානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 98 ක් ලබා ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 323 ක් පසුපසින් සිටියේය. පැය දෙක හමාරකට වැඩි කාලයක් පිටියේ රැඳුනු හසිම් අම්ලා පන්දු 134 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් ලබා නොදැවී සිටියේය.

ශී‍්‍ර ලංකා පිල අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව ලකුණු 421 කට සම්පූර්ණයෙන්ම දැවී ගිය අතර දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නන් වන ඬේල් ස්ටේන් (69/2), වර්නන් පිලැන්ඩර් (52/2) සහ මෝනි මෝකල් (69/1) කඩුලූ 5 ක් බෙදාගත්හ.

සිය මංගල ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල (72) සහ 16 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 සීමාව ඉක්මවා ගිය මහේල ජයවර්ධන දෙදෙනාගේ ඉවසිලිවන්ත පිතිහරඹය නිසා කිසිදු අපහසුතාවකින් තොරවම ශී‍්‍ර ලංකා පිල ලකුණු 400 සීමාව කරා ළංව සිටි නමුත් මහේල ජයවර්ධනගේ අවාසනාවන්ත දුවද්දී දැවී යාමත් සමගින් අවසන් කඩුලූ 5 ම ලකුණු 36 ක් තුළදී ඇද වැටිණ.

පළමු දින සන්ධ්‍යාවේ තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටියදී කී‍්‍රඩාගාරයට ගිය මහේල සහ දික්වැල්ල දෙදෙනා අද පෙරවරුවේදී පැය එකහමාරකට වැඩි කාලයක් පුරා තම කඩුලූ ආරක්‍ෂා කරගනිමින් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළට ගෙන ගියහ.

ස්වීප් පහරක් ගැසූ මහේල ලකුණු දෙකක් කරා දිවගිය නමුත් ඞීප් ෆයින් ලෙග්හි සිටි ඇල්විරෝ පීටර්සන්ගේ අතින් මිදුණු පන්දුව එක එල්ලයේම කඩුල්ල සොයා ආ හෙයින් මහේලගේ ඉනිම ලකුණු 165 දී නිමාවට පත්විය. කෙසේ වෙතත් ඒ වන විට හය වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 100 ක් වී තිබිණ.

මහේල සහ දික්වැල්ල දෙදෙනාම ඉතාමත් පහසුවෙන් පන්දුවට මුහුණ දෙමින් සිටි හෙයින් දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් පවා මහත් අසහනයට පත්ව සිටි අතර දුවද්දී දැවී යාමකින් මිස ඔවුන් දෙදෙනා වෙන්කළ නොහැකි තත්ත්වයට පත්ව තිබිණ. එය එසේම සිදුවූ අතර විනාඩි 195 කට පසුව නිරෝෂන් දික්වැල්ල දුවද්දී දැවී ගියේද කඩුලූ රකින්නා වූ ක්විටින් ඩි කොක් කඩුල්ලට දමා ගැසූ පන්දුවකිනි.

එස්. එස්. සී. පිටියේදී තමන්ගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2863 දක්වා ඉහළ දමාගත් මහේල ජයවර්ධන සිය 150 වැනි ලකුණ අත්කරගත්තේ ඬේල් ස්ටේන්ගේ පන්දුවකට ගැසූ පුල් පහරකිනි. ඒ වන විට පැය හය හමාරකට වැඩියෙන් පිටියේ ගතකර සිටි මහේලගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 17 කින් අලංකාර වී තිබිණ.

තවමත් 21 වැනි වියේ පසුවන නිරෝෂන් දික්වැල්ල ඉඳහිට මුරණ්ඩු පහරක් කරා යාමට උත්සාහ කළ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔහු වෙතට පැමිණි මහේල තරුණ පිතිකරුවාට අවවාද දෙමින් ඔහු අර්ධ ශතකය කරා කැඳවාගෙන ගියේය.

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගැනීමේ අගනා අවස්ථාවක් දික්වැල්ලට තිබුණ නමුත් මහේලගේ දැවී යාම ඊට හරස් විය. ඩිල්රුවන් පෙරේරාගෙන් අවශ්‍ය විශ්වාසනීයත්වය දක්නට නොලැබුණ හෙයින් පසුපාදයට වැටුණු කෝඩුකාරයා ලකුණු 72 දී දුවද්දී දැවී යන විට ඔහුගේ පන්දු 116 ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් හැඩි වී තිබිණ.

මහේල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඩිල්රුවන් පෙරේරා මුහුණ දුන් දෙවැනි පන්දුවටම හයේ පහරක් ගසමින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ නමුත් හැකි ඉක්මනින් තවත් කඩුල්ලක් දවාගැනීමට දකුණු අපි‍්‍රකානුවන් විවිධ උපක‍්‍රම භාවිතා කළ හෙයින් දිවා ආහාරයට පෙර අඩහෝරාවකට ආසන්න කාලයකදී වාර්තා වූයේ ලකුණු 10 ක් පමණි.

මෙම තත්ත්වය දකුණු අපි‍්‍රකානුවන්ට නැවතත් තරගයට අවතීර්ණ වීමට දොරටු විවර කර දීමක් විය. එයින් ප‍්‍රයෝජන ගත් ඔව්හු කඩුලූ 5 ක් දැවී ලකුණු 385 ක් ව කි‍්‍රයාත්මක වෙමින් තිබූ ශී‍්‍ර ලංකාවේ ලකුණු යන්ත‍්‍රය ලකුණු 421 දී සම්පූර්ණයෙන්ම නතර කර දැමූහ.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

අම්ලා - ඩිවිලියර්ස් කණ්ඩායම ගොඩගැනීමේ උත්සාහයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.