Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරීස්’ යන ශ්‍රී ලංකා පිල

‘රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරීස්’ යන ශ්‍රී ලංකා පිල

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

‘රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරීස්’ නමින් හැඳින්වෙන ප්‍රවීණයන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර මෙම මස 10 වැනිදා සිට ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය. රටවල් 8 ක සහභාගීත්වයෙන් ක්‍රීඩාංගණ 4 ක පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා වැඩිම ක්‍රීඩකයන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වන්නේ ශ්‍රී ලංකාවෙනි.

තිලකරත්න දිල්ෂානගේ නායකත්වය දරන ශ්‍රී ලංකා ප්‍රවීණයන්‍ගේ කණ්ඩායමට 53 හැවිරිදි සනත් ජයසූරිය සහ 48 හැවිරිදි චමින්ද වාස්ද ක්‍රීඩා කරති. ඔවුන් දෙදෙනාට අමතරට මෑතකදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් තිසර පෙරේරා, ඉසුරු උදාන, උපුල් තරංග, ජීවන් මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා සහ ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයන්ද එම කණ්ඩායම නියෝජනය කරති.  
 
තවමත් නිල වශයෙන් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීම ප්‍රකාශ කර නොමැති අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, ඩිල්ෂාන් මුණවීර සහ ඉෂාන් ජයරත්න වැනි ක්‍රීඩකයන්ද මෙවර ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ උපුල් තරංග, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ කෞෂල්‍ය වීරරත්න මෙම වසරේදීත් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම ශක්තිමත් කරති.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට අමතරව සත්කාරක ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම, ඕස්ට්‍රේලියානු ප්‍රවීණයන්‍ගේ කණ්ඩායම, දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායම, එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම, නවසීලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමද මෙවර තරගාවලියට එක්ව සිටිති.

ඉන්දියාවේ ඉන්දෝර්, දෙහෙරාදූන්, රායිපූර් සහ කාන්පූර් යන නගරවල පිටියි ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කාන්පූර් ක්‍රීඩාංගණයේදිද, අවසන් මහ තරගය දෙහෙරාදුන් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් මේ වන විට නිල වශයෙන් නම් කර ඇතැත්, ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

එහිදී ඕස්ට්‍රේලියානු ප්‍රවීණයන්‍ගේ කණ්ඩායම ෂේන් වොට්සන් විසින්ද, දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම ජොන්ටි රෝඩ්ස් විසින්ද, බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායම බ්‍රයන් ලාරා විසින්ද, එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඉයන් බෙල් විසින්ද, නවසීලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම රොස් ටේලර් විසින්ද, බංග්ල‍ාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායම ශහාදත් හොසේන් විසින්ද මෙහෙයවනු ලබති.


අදහස් (0)

‘රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරීස්’ යන ශ්‍රී ලංකා පිල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.