Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හොද්ද හැඳි ගෑ යුතුමය

හොද්ද හැඳි ගෑ යුතුමය

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ මුල්ම තරගාවලිය පැවැතියේ 2007 දකුණු අප‍්‍රිකාවේදීය. අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ එලෙස ස්ථාවර වූ විස්සයි 20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ආරම්භ වූයේ 2011 දීය.


2012 සැප්තැම්බර් 29 වැනිදා සිට 2016 ජනවාරි මාසය දක්වා ගතවූ මාස 40 න් මාස 35ක කාලයක් ශ්‍රේණිගත ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ වැජඹුන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අංක 8 ස්ථානය දක්වාම පහළ වැටී තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ දී ලද ඛේදජනක පරාජයන් වැලට පසුව ශ්‍රී ලංකා විස්සයි 20 පිලට එම ඉරණම අත්විය.


වන්නාටය... වැටුණාවේ.


නිවැරැුදි කණ්ඩායම තෝරාගන්නේ නම්..., සැලසුමක් ඇතිව තරගාවලියකට පිවිසෙන්නේ නම්..., තමන් නොව කණ්ඩායම ජයග‍්‍රහණය කළයුතු යයි සිතා පන්දුවත් පිත්තත් අතට ගන්නේ නම්...., ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළ නැගීම අපහසු දෙයක් නොවේ. එබැවින් ශ්‍රේණිගත ලැයිස්තුවේ පහළට ඇදවැටීම පිළිබඳ විස්සෝපය පසෙක දමා වහාම අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ මතක් කර සිටීම මෙම සටහනේ අරමුණ වෙයි.


සිංගර් කුසලාන අන්තර් පාසල් තරගාවලියේ තරග දෙකක දී දක්නට ලැබුණු නොමනා හැසිරීම් නිසා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනකුට තරග තහංචි පනවන ලදී.


විනිසුරුවරුන්ට අකීකරුවීමත්, පරිභව කිරීමත් නිසා ක‍්‍රීඩකයන් දෙදෙනකුටද ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රකෝප කිරීම් ඉවසාගත නොහී තමන් පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් තවත් ක‍්‍රීඩකයකුටද තරග තහනම් පනවන ලදී.


තමන් විසින් එලෙස තහංචි පනවන ලද්දේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කරන ලද විධිමත් පරීක්‍ෂණයකින් පසුව බව ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පවසයි.


මෙම ක‍්‍රීඩකයන් තිදෙනාට තහංචි පනවා ඇත්තේ ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන තරග සඳහා බවත්, මහ ක‍්‍රිකට් තරග හෝ සෙසු සාම්ප‍්‍රදායික තරග සම්බන්ධයෙන් එම ක‍්‍රීඩකයන් සහභාගි කරවීම පිළිබඳ ඔවුන්ගේ පාසල් ප‍්‍රධානීන් තීරණය කළයුතු බවත් ඩිල්ෂාන් ද සිල්වා මහතා පසුගිය 4 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතට පැවසීය.


තහනමට ලක්වූයේ සාමාන්‍ය පාසල් ක‍්‍රීඩකයෝ නොවෙති. ඔවුහු තිදෙනාම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප‍්‍රබලම සාමාජිකයෝ වෙති. ඔවුන් අතර සිටින චරිත් අසලංක ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා ද වෙයි.


ක‍්‍රීඩකයන් තිදෙනාට තහංචි පැනවීමේ සිද්ධිය ජනමාධ්‍ය සේවාවන්හි විශාල ප‍්‍රවෘත්තියක් වූයේද එනිසාය. එවන් ක‍්‍රීඩකයන්ගේ දස්කම් දෙස පමණක් නොව, ඔවුන්ගේ චර්යා රටා මෙන්ම ක‍්‍රියාකාරකම් දිහාද රටම දෑස් දල්වා බලා සිටින බව රහසක් නොවේ.


තත්ත්වය එසේ තිබියදීත්, පනවන ලද තහනම තඹයකට මායිම් නොකරමින්, පසුගිය සෙනසුරාදා පැවැති ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින්ම සංවිධානය කරන ලද තරගයකට චරිත් අසලංක සහභාගි කරවීය. පානදුර ශී‍්‍ර සුමංගල විදුහලට එරෙහිව ගාල්ලේ දී පැවැති එම තරගයේ දී චරිත් අසලංක ද්විත්ව ශතකයක් ලබාගත්තේය.


ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ තහංචිය හුදු ප‍්‍රකාශයකට පමණක් සීමාවිය.


මෙම තත්ත්වය පිළිබඳ විමසා බැලිය යුත්තේ කිසිවකුට දෝෂාරෝපණය කිරීමේ අදහසකින් හෝ කිසිවකු දඩයම් කිරීමේ අරමුණකින් තොරව මැදහත් සිතිනි.


චරිත් අසංලංක යනු තවමත් පාසල් සිසුවෙකි. පාසලේ ගුරුභවතුන්ගේ අණසකට ඔහු යටත් වෙයි. එබැවින්, තහනම තිබියදීත් තරගයට පිවිසීම සම්බන්ධයෙන් චරිත්ට එක එල්ලේම දොස් කිව නොහැකිය.


තරගයට පෙර, රිච්මන්ඞ් විද්‍යාලයීය කණ්ඩායමේ චරිත්ගේ නම දුටු සුමංගල කණ්ඩායම, චරිත්ට පනවා තිබූ තහංචිය පිළිබඳව සිහිපත් කළේය. එහෙත් ඔවුන්ට ලැබුණු පිළිතුර කුමක්ද?


”ආ... ඒක පත්තරේ දාලා තිබුණට අපට තවම ලිපියකින් දන්වලා නෑ. ඒක නිසා චරිත්ට මේ තරගය සෙල්ලම් කරන්න පුළුවන්” යයි රිච්මන්ඞ් විදුහලෙන් ලැබුණ පිළිතුර විය.


තර්කානුකූල බවක් පෙනෙන්නට තිබුණත් තමන් විසින් මෙහෙයවනු ලබන්නේ කවර කුලකයක් ද යන්න මෙම ගුරුවරුන් වටහා නොගැනීම ජාතියේ අවාසනාවකි.


නැවතත් කිවයුතුව තිබේ. චරිත් අසලංක යනු තවමත් පාසල් සිසුවෙකි.


ක‍්‍රිකට් පිටියේ දී මෙන්ම ඉන් පිටතදීත්, ”මැතිතුමනි” (සර්) යනුවෙන් තවමත් ඇමතුම් ලබන විනිසුරුවරුන්ට අකීකරුවීම නිසා ඔහු ලද දඬුවමෙන් පාඩමක් ඉගෙන ගන්නට හරිනවා වෙනුවට මේ පාසල් දරුවන්ට කියාදිය යුත්තේ සියුම් තර්ක ගොඩනගමින් නීතියේ ඇසට වැලි ගසා එයින් රිංගා යන ආකාරයද?


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හෙට දවස බාරදීමට, අද දවසේ පාසල් ක‍්‍රීඩකයන් හුරු කරවන්නේ ඒ ආකාරයටද?


රාජ්‍ය සේවයේ පඩි වැඩිවීමක් හෝ ගෑස් සිලින්ඩරයක මිල අඩුවීමක්,  ඕනෑම ජනමාධ්‍යයක පළවූ සැණින් බාරගන්නා උදවියට, තමන්ගේ පාසලේ ක‍්‍රීඩකයන්ට තහංචි පනවා ඇතැයි යන ප‍්‍රවෘත්තිය පිළිගැනීමට බැරි කුමන හේතුවක් නිසාද? අඩු තරමේ ඔවුහු ඒ පිළිබඳව පාසල් ක‍්‍රිකට් සංගමයෙන් වාචික විමසීමක්වත් කළාහුද?


අනෙක් අතට පාසල් ක‍්‍රිකට් සංගමය යනු ශ්‍රී ලංකාවේ පාසල් ක‍්‍රීඩා සංගම් අතර වඩාත්ම බලසම්පන්න ක‍්‍රීඩා සංගමයයි. අනුග‍්‍රාහකයන්ගෙන් රුපියල් මිලියන ගණනින් ආධාර ලබන පාසල් ක‍්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ද නොමසුරුව ආධාර ලබයි.


ශ්‍රී ලංකාවේ පාසල් කී‍්‍රඩා සංගමයකට වෙනම කාර්යාලයක්, වැටුප් ගෙවන සේවක පිිරිසක් සහ පරිගණක ඇත්නම් ඒ පාසල් ක‍්‍රිකට් සංගමයම මිස අනෙකක් විය නොහැකිය. එවන් පහසුකම් තිබියදීත්, මාර්තු මස 1 වැනිදා ගත් තීන්දුව 6 වැනිදා දක්වා පාසල්වලට දැනුම්දීමට විධිමත් ක‍්‍රමවේදයක් පාසල් කි‍්‍රකට් සංගමයට නොතිබිණ.


‘ෆැක්ස්’ යන්ත‍්‍ර කල් ඉකුත්වී විද්‍යුත් තැපැල් සහ කෙටි පණිවුඩ සේවා යුගයට පැමිණ සිටිය ද පාසල් දෙකකට පණිවුඩයක් යැවීමට ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයට දින 6 කුත් මදිය.


තහනම නොතකා කී‍්‍රඩා කරවූ චරිත් අසලංක පිළිබඳ ප‍්‍රශ්නය දුරදිග යද්දී, පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරියකුට දවල් තරු පෙනුණේය. විදුහල් බලධාරියකුට වහාම දුරකතන ඇමතුමක් ගත් පාසල් සංගම් නිලධාරියා ඉල්ලා සිටියේ ප‍්‍රශ්නය දුරදිග යාමට ඉඩ නොතබන ලෙසයි. ඊට ප‍්‍රතිඋපකාර වශයෙන් මැලේසියාවේ පැවැත්වෙන තරග සංචාරයක් සඳහා නිලධාරියකු වශයෙන් ඔහු ඇතුළත් කිරීමටද පාසල් කි‍්‍රකට් නිලධාරියා පොරොන්දු වී තිබේ.


ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දෙස බලන  ඕනෑම අයකුට, ”සන්තෝසම් සංචාර” සාමාන්‍ය දෙයක් ලෙස නොපෙනෙන්නේ නම් එය අරුමයකි. එබැවින් අදාළ විදුහල් බලධාරියාට මැලේසියානු සංචාරයක් නොව සංචාර 5 ක් දුන්නත් එය තම නැණ පමණින් විමසා බාරගත යුතු දෙයක් බව පමණක් කියමු.


අපට තිබෙන ප‍්‍රශ්න මේවාය.


මේ උගසට තැබෙන්නේ කුමක්ද? සමස්ත පාසල් ක‍්‍රීඩා පද්ධතියේම විනය නොවේද?. කී‍්‍රඩාවේ සදාචාරය නොවේද? දරුවන්ට උගන්වන්නේ ඒවා නොසලකා හැරිමටද?


තවමත් පාසල් යන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය බාරගැනීමට සිටින කී‍්‍රඩකයන්ය. ඔවුන්ට හරි වැරැුද්ද කියා දීමට සුළු දඬුවමක් දුන්නාම මොකද?


”නොගහා හදන දරුවාත්, හැඳි නොගා උයන හොද්දත් දෙකම එකයි” යයි අපේ පැරැුන්නන් කීවේ කට කහනවාට නොවේ. දරුවකුගේ වරදට දඬුවම අත්‍යාවශ්‍ය බව සහසුද්දෙන්ම දත් නිසාය.


අවසන් වශයෙන් කිවයුත්තේ ”හොද්ද හැඳි ගෑ යුතුමය” කියා පමණි. ඊට අකමැත්තේ නම් ප‍්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාගෙන් හෝ උපදෙස් ලබාගැනීම වටී.

 


අදහස් (0)

හොද්ද හැඳි ගෑ යුතුමය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.