Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හර්ෂිතාගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
ආසියානු කුසලාන

හර්ෂිතාගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

editorial - 2022 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී හර්ෂිතා මාධවීගේ දක්ෂ පිතිහරඹය හමුවේ තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී හර්ෂිතා මාධවී පන්දු 69 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 81 ක් රැස්කළාය. 

නායිකා චමරි අතපත්තු (12) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හර්ෂිතා, ඉන් නොනැවතී නිලක්ෂි ද සිල්වා (නොදැවී 39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 42 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය තායිලන්ත කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. එහිදී අචිනි කෞෂල්‍යා ලකුණු 19 කට කඩුලු 2 දවාගත් අතර සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් බිඳහෙළීමට සමත් වූහ. 

තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ චනිඩා සුතිරුවන් පන්දු 42 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරිණී නන්නාපට් කොන්චරොඑන්කායි පන්දු 21 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 156 
(හර්ෂිතා මාධවී 81, නිලක්ෂි ද සිල්වා නොදැවී 39, චමරි අතපත්තු 12, තිපට්චා පුතවොන් 26/2) 

තායිලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 107 
(චනිඩා සුතිරුවන් 37, නන්නාපට් කොන්චරොඑන්කායි 25, නුරෙමොල් චයිවයි 19, අචිනි කෞෂල්‍යා 19/2)

ඡායාරූප - ආසියානු ක්‍රිකට් සංගමයේ අනුග්‍රහයෙනි 

 


අදහස් (0)

හර්ෂිතාගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.