Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අද (19 වැනිදා) සමත් විය.
කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල මෙවර ශූරතාවට හිමිකම් කීවේය. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය පීතරයෝ, පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
ලකුණු 85 කට කඩුලු 7 ක් බිඳවැටී තිබියදී එක්වූ දනාල් හේමානන්ද (නොදැවී 36) සහ නිමාන් උමේෂ් (නොදැවී 16) පන්දු 50 කදී ලකුණු 51 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ. හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි හේමානන්ද හයේ පහරකින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
පන්දු 42 කදී වාර්තා වූ හේමානන්දගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. ළහිරු දෙවැටගේ පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක්ද, නායක වනුජ සහන් පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද රැස්කරමින් ශාන්ත පීතර ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් ප්‍රේමරත්න ඕවර 5.4 ක් යවමින් ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගත්තද, තර්ස්ටන් විදුහල පරාජයෙන් ගළවා ගැනීමට ඔහුට නොහැකි විය.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 26 කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල් කණ්ඩායමට එහිදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණි. දිනකර වෙල්ලාලගේ ලකුණු 19 කට කඩුලු 3 ක්ද, ෂෙනන් රොද්‍රිගූ ලකුණු 16 කට කඩුලු 2 ක්ද දවාගනිමින් තර්ස්ටන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙරමුණ ගත්හ.
එකම ඕවරයක පන්දු දෙකකදී උපුල් හෙට්ටිආරච්චි ලකුණු 6 කටත්, නායක බවන්ත ජයසිංහ ලකුණු 53 කටත් දවාගත් ෂෙනන්, ඉන් නොනැවතී තවත් ඕවර 2 කට පසුව අසීම් මොහොමඩ් (4) දුවද්දී දවාගැනීමකටද හසුකර ගනිමින් තරගයේ වීරයා බවට පත්විය. පන්දු 42 කදී වාර්තා වූ බවන්තගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
මූලික වටයේදී ගාල්ල මහින්ද, වත්තල ශාන්ත අන්තෝනි, මහනුවර ධර්මරාජ, පන්නිපිටිය ධර්මපාල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත පීතර විදුහල, එහිදී ගාල්ල මහින්ද විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. තර්ස්ටන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 66 ක ජයක් වාර්තා කරමිනි.
තර්ස්ටන් විදුහල - ඕවර 26 කදී සියලු දෙනා දැවී 131
(තරිඳු හර්ෂන 21, බවන්ත ජයසිංහ 53, තේනුක දේවප්‍රිය නොදැවී 20, දිනකර වෙල්ලාලගේ 19/3, ෂෙනන් රොද්‍රිගූ 16/2)
ශාන්ත පීතර විදුහල - ඕවර 23.4 කදී කඩුලු 7 ක් දැවී 136
(ළහිරු දෙවැටගේ 43, වනුජ සහන් 18, දනාල් හේමානන්ද නොදැවී 36, නිමාන් උමේෂ් නොදැවී 16, නිපුන් ප්‍රේමරත්න 34/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.