Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව - පාකිස්තානය හෙට අවසන් තරගයේ පෙරහුරුවක

ශ්‍රී ලංකාව - පාකිස්තානය හෙට අවසන් තරගයේ පෙරහුරුවක

editorial - 2022 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය හෙට (9 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගයට පෙර සිටම කණ්ඩායම් දෙකම අවසන් මහ තරගයේ ස්ථාන වෙන් කරවාගෙන සිටීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම මෙය අවසන් මහ තරගය සඳහා පෙරහුරු තරගයක් බඳු වනු ඇත.

කෙසේ වුවත් ජයග්‍රහාගී මානසිකත්වයකින් යුතුව ‍අවසන් තරගයට පිවිසීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජයගැනීම වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයද මෙම තරගාවලියේදී මුහුණදුන් පළමු තරගය පරාජයට පත්වූ නමුත්, ඉන් අනතුරුව සහභාගි වූ තරග 3 ම ජයගනිමින් මෙම තරගයට පිවිසෙති. එබැවින් මෙම තරගයේ ජයග්‍රහණය සඳහා කණ්ඩායම් දෙක අතර කරට කර සටනක් බලාපොරොත්තු විය හැකිය.

මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉන් අවසන් මහ තරගයට බලපෑමක් නොවන බැවින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු විවේක ගන්වා නවක ක්‍රීඩකයකුට අවස්ථාවක් ලබාදීම හැරුණුකොට කණ්ඩායම් දෙකම විශාල වෙනස්කම් කරා නොයනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එබැවින් මේ දක්වා බංකුවේ සිටි ක්‍රීඩකයන්ගෙන් අයෙකුට හෝ දෙදෙනකුට ඇතැම් විට හෙට තරගයේදී කණ්ඩායම් දෙකේ දොරටු විවර විය හැකි යැයි අනුමාන කළ හැකිය.

එහෙත් තරගය‍ට පෙර දිනයේදී (8 වැනිදා) පැවැති මධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා කියා සිටියේ මෙම තරග‍ය පෙරහුරු තරගයක් ලෙස නොසලකා කණ්ඩායමේ උපරිමය යොදවමින් ක්‍රීඩා කරන බවය. ‍කෙසේ වුවත් නවකයකුට අවස්ථාවක් ලබාදෙමින් කණ්ඩායමේ වෙනසක් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මුනිවත රැකි හෙතෙම, කණ්ඩායමේ අවසන් 11 දෙනා තීරණය කරන්නේ පුහුණු සැසියෙන් පසුව බවද සඳහන් කළේය.

“මේ තරගයත් අපි සාමාන්‍ය තරගයක් වගෙ ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. වෙනස්කම් ගැන නම් තාම කතා කරලා නෑ. ‍තේරීම් කමිටුවයි, ප්‍රධාන පුහුණුකරුයි, නායකයයි එකතු වෙලා අද හවස හෝ හෙට උදේ ඒක ගැන තීරණය කරයි. මේ තරගයෙදි ප්‍රධාන වශයෙන්ම අපි උත්සහ කරන්නෙ පාකිස්තාන පිතිකරුවන්ගේ දුර්වලතා හඳුනාගන්නයි. ඒක අවසන් තරගයෙදි අපේ පන්දු යවන්නන්ට ලොකු වාසියක් වේවි.” යැයිද විජේතුංග මහතා තරගයට පෙර දියේදී පැවසීය.

සෙසු පිතිකරුවන් සියලු දෙනාම පාහේ තරගයකදි දෙකකදී හෝ ලකුණු අතරට පැමිණියද, ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක චරිත් අසලංක තවමත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට මහත් වෙහෙසක් දරමින් සිටියි. මෙම තරගාවලියේ සහභාගි වූ තරග 4 දී ඔහුගේ ලකුණු ලබාගැනීම 0, 1, 8, 0 ක් ලෙස සටහන් වීම තුළින් එය වඩාත් තහවුරු වේ. එබැවින් අවසන් මහ තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීම සඳහා ඔහුට හෙට තරගයේදී ලකුණු අතර‍ට පැමිණීම බෙහෙවින්ම වැදගත් වනු ඇත.

විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 21 ක් පැවැත්වී ඇති අතර ඉන් 13 කදීම ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තානය සමත්ව තිබේ. පාකිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 8 කදී පමණි. කෙසේ වුවත් අවසන් වරට 2019 වසරේදී දෙරට අතර ලා‍හෝර් නුවරදී පැවැති විස්සයි-20 තරගාවලියෙන් තරග 3-0 ක ජයක් ලැබීමට ශ්‍රි ලංකාව සමත්ව තිබේ.

ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී කාණ්ඩ 2 ක් යටතේ තරග වැදීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එකිනෙකාට එරෙහිව මුණ නොගැසිණ. ඒ අනුව බලන කල මෙම කණ්ඩායම් දෙක විස්සයි-20 තරගයකදී එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ වසර 2 කට පමණ පසුවය.

 

ශ්‍රී  ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්

පාකිස්තාන සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ෆකාර් සමාන්, ඉෆ්තිකර් අහමඩ්, කුෂ්දිල් ෂා, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, හාරිස් රවුෆ්, මොහොමඩ් හස්නයින්, උස්මාන් කාදර්, හයිඩර් අලී, හසන් අලී සහ ශානවාස් දහානි


අදහස් (0)

ශ්‍රී ලංකාව - පාකිස්තානය හෙට අවසන් තරගයේ පෙරහුරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.