Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් සටනට
ආසියානු කුසලාන

ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් සටනට

editorial - 2022 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)   

 

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ඇෆ්ඝනිස්ථානයට ‍එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වීමත් සමග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට හැකි විය.

සුපිරි 4 දෙනාගේ වටයේදී ජයග්‍රහණ දෙක බැගින් ලබා සිටිම හේතුවෙන් මෙම කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. සෙසු කණ්ඩායම් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට පරාජයන් දෙක බැගින් ලබා සිටීම හේතුවෙන් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය. සුපිරි 4 දෙනා‍ගේ වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබුණද, එවාහි ප්‍රතිඵල වලින් අවසන් තරගයට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා පාකිස්තානය කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කිරීමට සිදුවූ අතර ඒ වන විට ඔවුන්ගේ 9 වැනි කඩුල්ලත් බිඳවැටී තිබිණ. කෙසේ වුවත් ෆසාල්හක් ෆරූකි යැවූ අවසන් ඕව‍රයේ පළමු පන්දු දෙකම හතරේ සීමාවට ඉහළින් යැවූ නසීම් ෂා (නොදැවී 14) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉෆ්තිකාර් අහමඩ් (30) සහ ශදාබ් ඛාන් (36) පාකිස්ථානයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ. පන්දු 33 කදී වාර්තා වූ ඉෆ්තිකාර්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 26 කට මුහුණදුන් ශදාබ් හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසුවේය. පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කළ අසීෆ් අලී පාකිස්තානය ජයග්‍රහණය ආසන්නයට ගෙන ‍ග‍ියේය.

සිය පළමු ඕවර 3 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 ක්ද දවාගෙන සිටි ෆසාල්හක් ෆරූකි, අවසන් ඕවරයේ පළමු පන්දු දෙකම ෆුල් ටොස් පන්දු දෙකක් ලෙස කෙලින්ම නසීම් ෂාගේ පිත්තටම යොමුකරමින් ඇෆ්ඝනිස්ථානයට පෙනි පෙනී තිබූ ජයග්‍රහණය බන්දේසියක තබා පාකිස්තානයට පූජා කළේය. කඩුලු 2 ක් දවාගනිමින් 19 වැනි ඕවරය ලකුණු 10 කට සීමා කිරීමට ෆරීඩ් අහමඩ් සමත්ව තිබීමද ඒ ‍හේතුවෙන් ගඟට කැපූ ඉනි මෙන් අපතේ ගියේය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු හස්රතුලලා සසායි පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 21 ක් රැස්කළ අතර රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 11 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 17 ක් ලබා සිටියදී හාරිස් රවුෆ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 15 කට මුහුණදුන් රෂීඩ් ඛාන් එහිදී නොදැවී ලකුණු 18 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 6 කට 129
(හස්රතුල්ලා සසායි 21, රහ්මනුල්ලා ගුර්බාස් 17, ඊබ්‍රහීම් සද්‍රාන් 35, කරීම් ජානට් 15, රෂීඩ් ඛාන් නොදැවී 18, හාරිස් රවුෆ් 26/2)

පාකිස්තානය - ඕවර 19.2 කදී කඩුලු 9 කට 131
(මොහොමඩ් රිස්වාන් 20, ඉෆ්තිකාර් අහමඩ් 30, ශදාබ් ඛාන් ‍36, අසීෆ් අලී 16, නසීම් ෂා නොදැවී 14, ෆසාල්හල් ෆරූකි 31/3, ෆරීඩ් අහමඩ් 31/3, රෂීඩ් ඛාන් 25/2)

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.