Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 129 කින් ඉදිරියට
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 129 කින් ඉදිරියට

editorial - 2023 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
 
සුපුරුදු “බස්බෝල්” ක්‍රිකට් ක්‍රීඩාවට නැවතත් පිවිස සිටින එංගලන්ත ‘ලයන්ස්’ පිතිකරුවෝ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (9 වැනිදා) සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 405 ක් ලබාගත්හ. මුල් ඉනිමේදී ලකුණු 73 ක ආවාසියකට මුහුණ දුන්නද, දෙවැනි ඉනිමේදී වේගවත් ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 73 ක් ලබාගනිමින් මුල් ඉනිමේ අවාසිය අහවර කළහ. 
 
කඩුලු තුනක් අහිමි වූ නමුත් ඉතාමත් ධෛර්වත් ලෙසින් පිතිහරඹයේ යෙදුණු ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ අද දිනය නිමා වනවිට තම කණ්ඩායම ලකුණු 129 කින් ඉදිරියට කැඳවාගෙන ගියහ. එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ සිය තුන්වැනි ශතකය කරා යමින් සිටින නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 84 ක් ලබා සිටින අතර දිනයේ අවසානය පෙනි පෙනී තිබියදී කමිඳු මෙන්ඩිස් ලකුණු 67 කට දැවී ගියේය. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවති සම්බන්ධතාව ලකුණු 100 කි. 
 
ලයන්ස් පන්දු යවන්නන් හමුවේ, මේ දක්වා ඉනිම 5 කදී ලකුණු 498 ක් ලබාසිටින නිශාන් මධුෂ්ක තවදුරටත් ලකුණු පිපාසයෙන්ම පිතිහරඹයේ යෙදෙමින් සිටී. දෙවැනි ඉනිමේදීත්, විනාඩි 199 ක් පුරා පිතිහරඹයේ යෙදුණු ආරම්භක පිතිකරුවා පන්දු 118 කට මුහුණ දෙමින් ඒවායින් 14 ක්ම හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. 
 
ඊයේ පිටියට පැමිණි මොහොතේ සිටම, බස්බෝල් ක්‍රිකට් ක්‍රමයට, අධිවේගී ලකුණු රැස්කිරීමක නිරත වූ ජැමී ස්මිත්, අද පෙරවරුවේදී  විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හතරේ එපිටට යවමින් සිය ශතකය සම්පූර්ණ කළේය. විනාඩි 87 කදී, පන්දු 71 කට පමණක් මුහුණ දෙමින් ශතකය ලබාගන්නා විට ජැමී ස්මිත්ගේ පිත්තෙන් නික්මුණු පන්දුව 18 වතාවක් හතරේ සීමාව පසුකර තිබිණ. ඒවායින් 6 ක්ම හයේ පහර වූයේය. 
 
ශතකය ලබාගැනීමෙන් අනතුරුව ලසිත් ඇඹුල්දෙණිය හමුවේ ස්මිත් ගැසූ ලොෆ්ටඩ් ස්වීප් පහරකින් ඉහළ ගිය උඩපන්දුව ගිළිහී ගියේ ලෝන්ග් ලෙග්හි සිටි විශ්ව ප්‍රනාන්දුගේ මුහුණටම වැටුණු දැඩි හිරුරැස් දහරින් ඇතිවූ බාධාව නිසාය. ප්‍රවීන් ජයවික්‍රම අද උදෑසන යැවූ පළමු පන්දුවේදීම ස්මිත් දුන් ඉතාම පහසු උඩපන්දුවක් පන්දු යවන්නා අතින් ගිළිහී ගියද ලයන්ස් කඩුලු රකින්නාට එතැන් සිට ලබාගත හැකිවූයේ ලකුණු 06 කි. හරියටම පැය දෙකක කාලයක් ඇතුළතදී, පන්දු 82 කින් ලකුණු 126 ක් ලබාගත් ජැමී ස්මිත්ගේ ඉනිම හතරේ පහර 13 කින් සහ හයේ පහර 8 කින් සමන්විත වූයේය. 
 
 ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරීන් මෙම තරගය යොදාගත්තේ ජයග්‍රහණයක් සොයා යාමට වඩා නවසීලන්ත සංචාරය සම්බන්ධයෙන් සැලකිල්ලට ලක්ව සිටින ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ නවතම තත්ත්වය පිරික්සා බැලීම සඳහාය. විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙණිය මෙම ක්‍රීඩකයන් සිව්දෙනාය. එහෙත් ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයන්ට නිසි අවස්ථාවක් ලැබුණේද යන්නත් තරමක ගැටළුවකි.
 
ඕවර 17 ක් යැවීමට විශ්ව ප්‍රනාන්දුට පන්දු යැවීමේ වාර 5 ක් අවශ්‍ය විය. ඔහුගේ පන්දු යැවීමේ වාර සටහන් වූයේ (3-0-18-1), (3-0-18-0), (4-0-08-1), (3-0-08-0) සහ (4-1-11-0) ලෙසිනි. සමස්ත ඉනිමේ ලකුණු වේගය 5.73 ක් ව තිබියදීත් විශ්ව තමාගේ 3, 4 සහ 5 වැනි පන්දු යැවීමේ වාරවලදී සාර්ථක පන්දු යැවීමක නිරත විය. එහෙත් විශ්වගේ දිගම පන්දු යැවීමේ වාරය ඕවර 4 කට සීමාවූ අතර සෑම අවස්ථාවකදීම ඔහු අවශ්‍ය රිද්මයට පැමිණෙන විටම පන්දු යැවීම නතර කෙරිණ. 
 
චාමික කරුණාරත්න ඕවර 14 ක් යැවීම සඳහා පන්දු වාර 4 ක් භාවිතා කළේය. කරුණාරත්නගේ පන්දු යැවීමේ වාර සටහන් වූයේ (4-1-23-1), (1-0-19-0), (5-0-33-2) සහ (3.4-1-09-1) ක් ලෙසිනි. මෙහිදී පැන නඟින පැනය වන්නේ නියමිත රිද්මයෙන් පන්දු යවන වේග පන්දු යවන්නකුට එක පන්දු යැවීමේ වාරයකදී යැවිය හැකි උපරිම ඕවර සංඛ්‍යාව 4 ක් හෝ 5 ක් ද යන්නයි. 
 
අනෙක් අතට ලසිත් ඇඹුල්දෙණිය ඉතාම අවාසනාවන්ත පන්දු යවන්නකු වී තිබේ. පළමු ටෙස්ට් තරගයේදීත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීම් හමුවේ උඩපන්දු තුනක් ගිළිහී ගිය අතර අද පෙරවරුවේදීත් ඉතාම පහසු උඩපන්දුවක් ගිළිහී ගියේ දැඩි හිරුරැස් පන්දු රකින්නාට අවහිර කළ බැවිනි. ප්‍රවීන් ජයවික්‍රම වුවද සාර්ථක පන්දු යැවීමක නිරත වූයේ, දඩබ්බර පිතිකරුවන් හමුවේ සිය ඕවර 17 ලකුණු 59 කට සීමාකරගනිමිනි. 
 
හෙට තරගයේ අවසන් දිනයයි.
 
ලකුණු පුවරුව 
 
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 332 යි
(ලසිත් කෲස්පුල්ලේ 128, නිපුන් ධනංජය 61, ජොෂ් ටං 76/5)
 
එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම 
ඇලෙක්ස් ලීස් - ඇ.මෙන්ඩිස් ප.ජයවික්‍රම 97
හසීබ් හමීඩ් - ඇ.ළහිරු උදාර ප.කරුණාරත්න 4
ටොම් ඇබෙල් - ඇ.මධුෂ්ක ප.විශ්ව ප්‍රනාන්දු 4
ජොෂ් බොහානන් - ඇ.නුවනිඳු ප.විශ්ව ප්‍රනාන්දු 54
ජැමී ස්මිත් - ඇ.ළහිරු උදාර ප.කරුණාරත්න 126
ටොම් හේන්ස් - ඇ.මධුෂ්ක ප.කරුණාරත්න 10
ලියාම් පැටර්සන් - ඇ.කෲස්පුල්ලේ ප.ඇඹුල්දෙණිය 24
මැතිව් ෆිෂර් - නොදැවී 35
ජැක් කාසන් - ප.විශ්ව ප්‍රනාන්දු 6
ජොෂ් ටං - ඇ.ළහිරු උදාර ප.ජයවික්‍රම 29
සෑම් කුක් - ඇ.මෙන්ඩිස් ප.කරුණාරත්න 0
අතිරේක 16
එකතුව - ඕවර 76.4 කදී සියලු දෙනා දැවී 405
 
කඩුලු වැටීම : 
1-12(හමීඩ්), 1-17(ඇබෙල්), 3-122(බොහානන්), 4-291(ලීස්), 5-302(ස්මිත්), 6-307(හේන්ස්), 7-354(පැටර්සන්), 8-365(කාසන්), 9-404(ටං), 10-405(කුක්)
 
පන්දු යැවීම : 
විශ්ව ප්‍රනාන්දු 21-1-83-3
චාමික කරුණාරත්න 13.4-2-84-4
ලසිත් ඇඹුල්දෙණිය 20-3-113-1
ලක්‍ෂිත මානසිංහ 5-0-54-0
ප්‍රවීන් ජයවික්‍රම 17-2-59-2
 
ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම 
නිශාන් මධුෂ්ක - නොදැවී 84
ලසිත් කෲස්පුල්ලේ - ඇ.පැටර්සන් ප.කාසන් 47
නුවනිඳු ප්‍රනාන්දු - ඇ.කාසන් ප.ෆිෂර් 1
කමිඳු මෙන්ඩිස් - ඇ.අතිරේක ප.කාසන් 67
ලසිත් ඇඹුල්දෙණිය - නොදැවී 1
අතිරේක 2
එකතුව - ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී 202
 
කඩුලු වැටීම : 
1-88(කෲස්පුල්ලේ), 2-101(නුවනිඳු), 3-201(මෙන්ඩිස්)
 
පන්දු යැවීම : 
සෑම් කුක් 9-1-36-0
මැතිව් ෆිෂර් 7-1-46-1
ලියාම් පැටර්සන් 5-1-24-0
ජොෂ් ටං 7-1-30-0
ජැක් කාසන් 12-1-52-2
ටොම් ඇබෙල් 2-0-13-0

අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 129 කින් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.