Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13 වැනිදා) සමත් විය. පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී එක් ලකුණක අති තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ 2004 වසරේ සිට 2008 වසර දක්වා පිට පිටම සිවුවරක් අනු ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14 කට පසුවය. 2012 වසරේදී අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 2016 වසරේදී තෙවැනි ස්ථානයෙන්ද, 2018 වසරේදී සිවුවැනි ස්ථානයෙන්ද සෑහීමකට පත්වීමට සිදුවූහ.
ශිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (15 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. මින් පෙර අනු ශූරතා දිනාගත් අවස්ථා 4 දීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය වී ඇත්තේද ඉන්දියාව හමුවේය.
අවසන් පූර්ව වටයේ ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. තරගය ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අවසන් පන්දුවේදී ලකුණු 3 ක් අවශ්‍ය වූ අතර එහිදී දෙවැනි ලකුණු කරා දිවයමින් සිටි නිඩා ඩාර් (26) දුවද්දී දවාගැනීමකට හසුකර ගත් කවීෂා දිල්හාරි සහ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
කඩුල්ලක් දවාගනිමින් 18 වැනි ඕවරය ලකුණු 5 කට යැවූ සුගන්දිකා කුමාරි සහ අවසන් ඕවරය ලකුණු 7 කට යැවූ අචිනි කෞෂල්‍යාද, පාකිස්තාන කාන්තා කණ්ඩායම හමුවේ පෙනි පෙනී තිබූ ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙත උදුරා ගැනීම සඳහා ඉනෝකාට අනගි සහායක් ලබා දුන්හ. මෙවර තරගාවලියේ තරග 7 කදී කඩුලු 12 ක් දවාගෙන සිටින ඉනෝකා, වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ.
පාකිස්තාන කාන්තා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා බිස්මා මරූෆ් පන්දු 41 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 42 ක් රැස්කළද, සුගන්දිකා කුමාරිගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. පන්දු 10 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 18 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් මුනීබා අලී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියාය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් ලබාගතතේය. තරගාවලිය පුරා ලකුණු අතර සිටි හර්ෂිතා මාධවී, මෙම තරගයේදීද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වෙනිමින් පන්දු 41 කදී ලකුණු 35 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. තරග 7 කදී ලකුණු 201 ක් රැස්කරගෙන සිටින ඇය, මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභිණියන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නීය.
ලකුණු 39 ක් ඇතුළත ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තද, නිලක්ෂි ද සිල්වා (14) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාධවී ශ්‍රී ලංකා කාන්තා ඉනිමට නව ජවයක් එක් කළාය. මෙම තරගයේදී ආරම්භක පිතිකාරිණියක් ලෙස ක්‍රීඩා කළ අනුෂ්කා සංජීවනී පන්දු 21 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.
මූලික වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 5 ක් දවාගත් ඔමයිමා සොහේල්ට මෙම තරගයේදී එක් කඩුල්ලක් හෝ දවාගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකාරිණියෝ ඉඩක් ලබා නොදුන්හ. ඇගේ පන්දු හමුවේ ඉතා ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සෙසු පාකිස්තාන පන්දු යවන්නියන් හමුවේ නොබියව පිත්ත හැසිරවූහ. එහිදී නෂ්රා සන්ධු ලකුණු 17 කට කඩුලු 3 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූවාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 122
(අනුෂ්කා සංජීවනී 26, හර්ෂිතා මාධවී 35, නිලක්ෂි ද සිල්වා 14, හසිනි පෙරේරා 13, නෂ්රා සන්ධු 17/3)
පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 121
(මුනීබා අලී 18, බිස්මා මරූෆ් 42, නීඩා ඩාර් 26, ඉනෝකා රණවීර 17/2)
ඡායාරූප - ආසියානු ක්‍රිකට් සංගමය අනුග්‍රහයෙනි.
Bandara Thursday, 13 October 2022 09:58 PM
රනිල් ගේ වාසනාව....!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.