Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වොට්ලිං - ලැබුස්චේන්ජ් ඉහළට පනිති

වොට්ලිං - ලැබුස්චේන්ජ් ඉහළට පනිති

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අද (26 වැනිදා) නිකුත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී ඉහළට පැමිණීමට මානස් ලැබුස්චේන්ජ් සහ බී.ජේ.වොට්ලිං සමත්ව සිටිති. ඔවුන් දෙදෙනා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පැමිණි ඉහළම ස්ථාන මේවා වෙයි.

පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී ශතකයක් (185) ලබාගත් මානස් ලැබුස්චේන්ජ් පිතිකරු වන් ශ්‍රේණිගත කිරීමේ 35 වැනි ස්ථානයේ සිට ස්ථාන 21 ක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදි ද්විත්ව ශතකයක් (205) ලබාගත් බී.ජේ.වොට්ලිං පිතිකරු ශ්‍රේණිගත කිරීම් අතරේ 24 වැනි ස්ථානයේ සිට ස්ථාන 12 ක් ඉදිරියට පැමිණෙමින් 12 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ලැබුස්චේන්ජ් සමගින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී ඉහළට පැමිණීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන්වූ ඩේවිඩ් වෝනර්, ජෝ බර්න්ස් සහ මැතිව් වේඩ් සමත්වූහ. ස්ථාන 6 ක් ඉදිරියට පැමිණි ඩේවිඩ් වෝනර් 17 වන ස්ථානයටද, ස්ථාන 11 ක් ඉදිරියට පැමිණි ජෝ බර්න්ස් 62 වැනි ස්ථානයට සහ ස්ථාන 4 ක් ඉදිරියට පැමිණි මැතිව් ටේඩ් 70 වැනි ස්ථානයටද පත්විය.

බංග්ලාදේශයට එරෙහිව කොල්කටාහිදී පැවැති ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට ඉන්දියාව සමත්වූ අතර එහිදී ශතකයක් ලබාගත් නායක විරාට් කෝලී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානයේ රැඳී සිටින ස්ටීවන් ස්මිත් සමගින් පැවැති ප්‍රසාද ලකුණු 25 ක පරතරය ලකුණු 3 ක් දක්වා අඩුකර ගැනීමට සමත්විය. ඒ අනුව ස්ටීවන් ස්මිත් ප්‍රසාද ලකුණු 931 ක් ලබාගනිමින් පළමු ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 928 ක් ලබාගත් විරාට් කෝලීට දෙවැනි ස්ථානය හිමිවී ඇත.

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් (243) ලබාගත් ඉන්දියානු ආරම්භක පිතිකරු මයාන්ක් අග්‍රවාල් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම 10 දෙනා අතර පැමිණීමට සමත්වී ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 700 ක් ලබාගෙන ඇති අග්‍රවාල් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී එක් ස්ථානයක් ඉදිරියට පැමිණිමට සමත්විය.

නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 91 ක් සහ 28 ක් ලබාගත් බෙන් ස්ටෝක්ස් ප්‍රසාද ලකුණු 704 ක් ලබාගනිමින් 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 ක් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම 10 දෙනා අතර පැමිණි පළමු අවස්ථාවද වන්නේය. නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ස්ථාන 2 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න සමත්වී ඇත.

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී කඩුලු 8 ක් දවාගනිමින් නවසීලන්තයට ඉනිමක ජයක් ගෙන දීමට දායකවූ නීල් වැග්නර් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 3 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 ක් ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.

ප්‍රසාද ලකුණු 816 ක් ලබාගෙන ඇති නීල් වැග්නර් නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ පන්දු යවන්නකු ලබාගත් තෙවැනි ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබේ. මින්පෙර රිචඞ් හැඩ්ලි ප්‍රසාද ලකුණු 909 ක් සහ ටේ‍රන්ට් බෝල්ට් ප්‍රසාද ලකුණු 825 ක් ලබාගෙන ඇත. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 4 ක් ඉදිරියට පැමිණි ජොෂ් හේසල්වුඞ් ප්‍රසාද ලකුණු 772 ක් ලබාගනිමින් ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් සමගින් 9 වැනි ස්ථානයේ පසුවන්නේය.

ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ප්‍රසාද ලකුණු 907 ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 839 ක් ලබාගත් දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ප්‍රසාද ලකුණු 472 ක් ලබාගනිමින් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්හි ජේසන් හෝල්ඩර් සමත්වී ඇති අතර ඔහුගේ ටේස්ට් දිවියේ ඔහු ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වන්නේය.

ඉන්දියාවේ රවින්ද්‍ර ජාදේජා ප්‍රසාද ලකුණු 406 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 401 ක් ලබාගත් එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ප්‍රසාද ලකුණු 308 ක් ලබා සිව්වනි ස්ථානයේ සිටි ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් එක් ස්ථානයක් පසුබසින විට ප්‍රසාද ලකුණු 315 ක් ලබාගත් දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හී එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 5 වැනි ස්ථානයට පත්විය.

12 වැනි ස්ථානයේ පසුවූ නවසීලන්තයේ කොඩින් ඩි‘ග්‍රෑන්ඩෝම් ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හී 8 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණීමට සමත්විය.

 


අදහස් (0)

වොට්ලිං - ලැබුස්චේන්ජ් ඉහළට පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.