Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වැස්ස ආයෙත් එයි - කොදෙව් පිල 69/1 යි
සෝබර්ස් - තිසේරා කුසලාන

වැස්ස ආයෙත් එයි - කොදෙව් පිල 69/1 යි

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

පමණට වඩා ළිහිල් බවක් පෙන්වූ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට පසුතැවීම ඉතිරි කරමින් ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සවස වර්ෂාව සඳහා කී‍්‍රඩාව නතර කරන විට කොදෙව්වෝ කඩුල්ලක් දැවී ලකුණු 69 ක් ලබා සිටියහ. ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 204 කට සීමාකරගත් හෙයින් කොදෙව් කී‍්‍රඩකයෝ මේ වන විට, කඩුලූ 9 ක් අතැතිව, ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 135 ක් පසුපසින් සිටිති.

වර්ෂාව හේතුවෙන් පස්වරු 2.10 ට පමණ තරගය නතර කරන ලද්දේ නැවතත් ආරම්භ කිරීමේ අරමුණු ඇතිවය. එහෙත් වර්ෂාව පස්වරු 3.40 වන තෙක් පැවැති අතර ඝණ වැසි වළාකුළු හේතුවෙන් අන්ධකාරය එන්න එන්නම වැඩිවිය. පස්වරු 4.20 ට පමණ දිනයේ කී‍්‍රඩාව අතහැර දමනවා හැර වෙනත් විකල්පයක් විනිසුරුවරුන්ට නොතිබිණ.

පළමු දින සන්ධ්‍යාවේ කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා ප‍්‍රබල ස්ථානයක සිටි නමුත් අද පෙරවරුවේදී තරමක් ළිහිල් පිතිහරඹයක නිරත වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 65 ක් තුළ අවසන් කඩුලූ 9 ම අහිමි කරගත්තේය. වීරසාමි පෙරුමාල්ගේ පන්දු යැවීම හමුවේ ශී‍්‍ර ලංකා ඉනිම එහෙම පිටින්ම කඩැවැටිණ.

වසර 6 කට පසුව ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කරන වමත් දඟ පන්දු යවන්නා වන පෙරුමාල්ගේ හොඳම ටෙස්ට් පන්දු යැවීමද මෙයයි. මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම වූයේ වසර 2012 දී බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවරදී ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගැනීමයි.

අද පෙරවරුවේදී පන්දු යැවීමට පැමිණියේ පෙරුමාල්, වොරිකන් සහ රොස්ටන් චේස් පමණි. කෙමාර් රෝච් (6-2-12-0), ජේසන් හෝල්ඩර් (8-2-23-0) සහ කයිල් මේයර්ස් (2-0-13-0) ඊයේ පන්දු යැවීමෙන් නතර වූ තැනම සිටියහ.

පළමු ටෙස්ට් තරගයේදී කී‍්‍රඩා නොකළ නමුත් දෙවැනි තරගයට කැඳවූ වමත් ද`ග පන්දු යවන්නන් වන වීරසාමි පෙරුමාල් (35/5) සහ ජොමෙල් වොරිකන් (50/4) දෙදෙනා තමන්ගේ කැඳවීම සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කරමින් ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 9 ක්ම තමන් සතුකර ගත්හ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශතක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද මෙම ලකුණු 204 වාර්තා වේ.

දශක 5 කට වැඩි කාලයක් පුරා, අතිශය භයංකාර වේග පන්දු යවන්නන් බිහිකිරීමට නම්දැරූ කොදෙව් කණ්ඩායම, මෙම තරගයේදී වමතින් දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදාගැනීම ඇදහිය නොහැකි පියවරක් වූයේය. එහෙත් අවදානම් තීරණය ඉතාමත් සාර්ථක වූයේ පිතිකරුවන් 7 දෙනකුගෙන් සහ තුන් ඉරියව් කී‍්‍රඩකයකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 204 කට සීමා වූ බැවිනි.

පැය තුන හමාරක් පමණ පිටියේ රැුඳුණු පැතුම් නිස්සංක පන්දු 148 කට මුහුණ දීමෙන් පසුව දැවී ගියේ සිය ඉනිමට හතරේ පහර 5 ක්  සහ හයේ පහරක් ඇතුළත් කිරීමෙන් පසුවය.

කෝඩුකාරයා වූ චරිත් අසලංක මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම පෙරුමාල් හමුවේ ‘රිවර්ස් ස්වීප්’ පහරක් ගසමින් පන්දුව හතරේ සීමාවට යැවීය. එහෙත් අසලංකට වැඩි වේලාවක් පිටියේ රැුඳීමට පෙරුමාල්ගෙන් අවසර නොලැබිණ.

ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් ඔහුගේ පැරණි ආබාධය වන කලව පසුපස මස්පිඬුවේ ආබාධයට ලක්වීම ශී‍්‍ර ලංකා කණ්ඩායම ලද විශාලතම පසුබෑමයි. මැතිව්ස් ලකුණු 12 ක් ලබා සිටියදී, දිවීමට අපහසු වූ හෙයින්, ආපසු කී‍්‍රඩාගාරයට ගියේය.

එහෙත් ශී‍්‍ර ලංකා පිලේ 8 වැනි කඩුල්ල බිඳ වැටුණු පසු නැවතත් පිටියට පැමිණි හිටපු නායකයා, ජොමෙල් වැරිකන් හමුවේ පිට පිටම හයේ පහර දෙකක් ගසමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 200 කඩයිමෙන් එපිටට තල්ලූ කළේය.

අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ ඉතිරිවූයේ ප‍්‍රවීන් ජයවික‍්‍රම සහ මැතිව්ස් පමණි. හැකි ඉක්මනින් ලකුණු ලබාගැනීම ඉතාමත් නුවණැති පියවර බව වටහාගත් මැතිව්ස් ලකුණු කරා යද්දී වැරිකන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් ශී‍්‍ර ලංකා ඉනිම අවසන් විය.

 


අදහස් (0)

වැස්ස ආයෙත් එයි - කොදෙව් පිල 69/1 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.