Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වාසනාවන්ත විලියම්සන් 200 කඩයිම පැනගනී
කරච්චි ටෙස්ට් තරගය

වාසනාවන්ත විලියම්සන් 200 කඩයිම පැනගනී

editorial - 2022 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කේන් විලියම්සන් ලබාගත් ද්විත්ව ශතකය නිසා සිව්වැනි දිනයේදී ලකුණු 600 සීමාව ඉක්මවා ගිය නවසීලන්ත කණ්ඩායම කරච්චියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ වාසිය මිට මොළවාගෙන සිටී. පාකිස්තානුවන් ලකුණු 438 ක් ලබාගත් නමුත් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 612 ක් ලබාගත් නවසීලන්ත පිතිකරුවෝ තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම, ලකුණු 174 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ.

තරගයේ සිව්වැනි දිනය වන අද (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 77 ක් ලබා සිටියද, නවසීලන්තයට වඩා ලකුණු 97 ක් පසුපසින් සිටී.

නවසීලන්ත නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස්වූ විලියම්සන්, පිතිකරුවකු වශයෙන් උපරිම නිදහස භුක්ති විඳිමින් සිටී. පැය 10 කට වැඩි කාලයක් (විනාඩි 395 ක්) පිටියේ රැඳුණු පිතිකරුවා, අබ්රාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ තනි ලකුණක් ලබාගනිමින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. එහෙත් ඉනිම පුරාම විලියම්සන්ට වාසනාවේ දෙව්දුව අත වනමින් සිටියේය. ලකුණු 13 දී සහ 116 දී කඩුල්ල මුවා කිරීමේ අවස්ථා දෙකකින්ම බේරුණු නවසීලන්තයේ හිටපු නායකයා, ලකුණු 15 ක් සහ 21 ක් ලබා සිටියදී නවුමන් අලීගේ පන්දු යැවීම් හමුවේ ස්ටම්ප් කිරීමේ අවස්ථා දෙකකින් ද ගැලවුණේය.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 156 ක් එක්කළ ඉෂ් සෝධි (65) තම හොඳම ටෙස්ට් ඉනිම වාර්තා කළ නමුත් ලකුණු 02 ක් ඇතුළත පිතිකරුවෝ තිදෙනෙක්ම දැවී ගියහ. 9 වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් විලියම්සන් ලබා සිටියේ ලකුණු 186 ක් පමණි. එහෙත් අවසන් පිතිකරුවා වූ අජාස් පතෙල් පන්දු 8 කට මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්‍ෂා කරගන්නා අතරේ හයේ පහරකින් සහ හතරේ පහරකින් පාකිස්තානුවන්ට සංග්‍රහ කළ කේන් විලියම්සන්ට ලකුණු 200 කඩයිම කරා අවතීර්ණ විය හැකිවූයේය.

නවසීලන්ත කණ්ඩායමක් පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වන්නේ වසර 20 කට පසුවය.


පාකිස්තානය - පළමු ඉනිම 438 යි
නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 612 යි

(ටොම් ලේතම් 113, ඩෙවොන් කොන්වේ 92, කේන් විලියම්සන් නොදැවී 200, හෙන්රි නිකොල්ස් 22, ඩැරිල් මිචෙල් 42, ටොම් බ්ලන්ඩල් 47, ඉෂ් සෝධි 65, අබ්රාර් අහමඩ් 205/5, නවුමන් අලී 185/3)

පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 77 යි
(අබ්දුල්ලා ශෆීක් 17, ඉමාම් උල් හක් නොදැවී 45, ශාන් මසූඩ් 10)

- 213

 


අදහස් (0)

වාසනාවන්ත විලියම්සන් 200 කඩයිම පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.