Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වාර්තා පිට වාර්තා තියමින් ශ්‍රී ලංකා කාන්තාවෝ සංචාරය නිමා කරති
එක්දින තරගාවලිය

වාර්තා පිට වාර්තා තියමින් ශ්‍රී ලංකා කාන්තාවෝ සංචාරය නිමා කරති

editorial - 2024 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ට පිතිහරඹය (නොදැවී 195) නිසා දකුණු අප්‍රිකානු කාන්තාවන් හමුවේ ලකුණු 302 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී පන්දු 33 ක් ඉතිරිව තිබියදීම කඩුලු 6 ක ජයක් අත්පත් කරගත්හ. බදාදා (17 වැනිදා) පොචෙස්ට්‍රෝම් නුවරදී මෙම තරගය පැවැත්විණ. 

කාන්තා කණ්ඩායමක් විසින් ලකුණු 300 ට එපිට ඉලක්කයක් සාර්ථකව හඹාගිය පළමුවැනි අවස්ථාව මෙයයි. එක්දින තරගයකදී ලකුණු 300 ට එපිට ඉලක්කයක් හඹා යමින් ජයගත් පළමු වැනි පිරිමි ක්‍රිකට් කණ්ඩායම වූයේ ද ශ්‍රී ලංකාවයි. වසර 32 කට ඉහත, නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගයකදී, සිම්බාබ්වේ පිලට එරෙහිව නිව් ප්ලිමවුත්හි පැවැති තරගයදී ලකුණු 313 ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කින් එම තරගය ජයගත්තේය. 

ශ්‍රී ලාංකික කාන්තා කණ්ඩායමක සාර්ථකම දකුණු අප්‍රිකානු සංචාරය ද මෙයයි. විස්සයි-20 තරගාවලියේදී 2-1 ක ජයක් අත්කරගත් චමරි අතපත්තුගේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්හ. එක්දින තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. දෙවැනි තරගයෙන් කඩුලු 7 ක ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවිය. 

කාන්තා එක්දින තරගයකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිණියන් අතර තුන්වැනි ස්ථානය අත්පත් කරගත් ශ්‍රී ලංකා නායිකාව, තමන්ගේ එක්දින තරග 101 ක තරග දිවියේ හොඳම පිතිහරඹය ලෙසින් ද එය සටහන් කළාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 100 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 100 ක් ක්‍රීඩාකළ එකම ක්‍රීඩිකාව වන්නේද ඇයයි. කාන්තා එක්දින අන්තර්ජාතික තරග වලදී වැඩිම ලකුණු ලබාගත් අනෙක් පිතිකාරිණියන් වන්නේ නවසීලන්තයේ ඇමීලියා කර් (අයර්ලන්තයට එරෙහිව නොදැවී 232 යි) සහ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකා බෙලින්ඩා ක්ලාක් (ඩෙන්මාර්ක් පිලට එරෙහිව නොදැවී 229) දෙදෙනාය. 

මීට පෙර චමරි අතපත්තුගේ හොඳම එක්දින ඉනිම වී තිබුණේ ඕස්ට්්‍රලියානු පිලට එරෙහිව එංගලන්තයේ බි්‍රස්ටල් නුවරදී නොදැවී ලබාගත් ලකුණු 178 කි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් නායිකා ලෝරා වූල්වත් නොදැවී ලකුණු 184 ක් ලබාගත්තාය. එය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර පසුගිය සැප්තැම්බරයේදී නායකත්වය ලබාගැනීමෙන් පසුව ඇය ලබාගත් සිව්වැනි ශතකය ද වෙයි. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ පස්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව (ලකුණු 301 ක්) කරා තම කණ්ඩායම කැඳවාගෙන යාමට ලෝරා සමත් වූ නමුත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. 

චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න (26) එක්ව, ඕවර 16 කින් පළමු කඩුල්ල සඳහා ලකුණු 90 ක් රැස්කළ නමුත් ලකුණු 126 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා ඉනිම තරමක් සසළ විය. එතැන් සිට ලකුණු 179 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ චමරි අතපත්තු සහ නිලක්ක්‍ෂි ද සිල්වා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. එය කාන්තා එක්දින තරගයදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාවය ද වෙයි. මෙම සම්බන්ධතාව අතරතුරේදී චමරි අතපත්තු පන්දු 75 කින් ලකුණු 110 ක් ලබාගත් අතර නිලක්‍ෂි පන්දු 71 කින් ලකුණු 50 ක් ලබාගත්තාය. 

චමරිගේ වාර්තාගත ඉනිම හතරේ පහර 26 කින් සහ හයේ පහර 5 කින්  සමන්විත විය. චමරි එක් අන්තයකින් පහර දෙද්දී, කඩුල්ල ආරක්‍ෂාකර ගැනීමේ භූමිකාව බාරගත් නිලක්‍ෂිගේ පන්දු 71 ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 3 ක් පමණි. 

දකුණු අප්‍රිකානු කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 5 ට 301 
(ලෝරා වූල්වර්ත් නොදැවී 184, ලාරා ගුඩෝල් 31, මෙරිසෑන් කෙප් 36, නඩීන් ඩි’ක්ලර්ක් 35, කවීෂා දිල්හාරි 47/2)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 44.3 කී කඩුලු 3 ට 305 
(විශ්මි ගුණරත්න 26, චමරි අතපත්තු නොදැවී 195, නිලක්‍ෂිකා සිල්වා 50, අයබොන්ගා කාකා 54/2)

-213


අදහස් (0)

වාර්තා පිට වාර්තා තියමින් ශ්‍රී ලංකා කාන්තාවෝ සංචාරය නිමා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.