Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
පාකිස්තානයට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කරමින් 6 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකාව අද (11 වැනිදා) සමත් විය. නරඹනන් 24,000 කගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.
අවසන් වරට ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරග 31 දී කණ්ඩායමක් පළමුවෙන් පන්දුවට පහරදී ආරක්ෂා කරගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය හැදින්විය හැකිය. මින් පෙර පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලබාගත් ලකුණු 172 ක් ආරක්ෂා කරගැනීමට නවසීලන්තය සමත්ව තිබුණේ ස්කොට්ලන්තයට එරෙහිවය. මෙම වසර (2022) තුළ පැවැති විස්සයි-20 තරගයකදී පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාවද මෙය විය.
ඉනිමේ 15 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමට සිවුවැනි කඩුල්ල අහිමිකළ චාමික කරුණාරත්න, ලකුණු 6 ක් ලබා සිටි මොහොමඩ් නවාස් පිටියෙන් ඉවත් කළේය. ඉන් අනතුරුව පන්දුව අතට ගත් වනිඳු හසරංග 16 වැනි ඕවරයේ පළමු, තෙවැනි සහ පස්වැනි පන්දුවලදී කඩුලු 3 ක් බිඳහෙළමින් තරගය කණපිට හැරවීය. පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 55 ක් ලබා සිටි මොහොමඩ් රිස්වාන් දැවී යෑමත් සමග පාකිස්තාන ඉනිමේ කඩාවැටීම ආරම්භ විය.
මහීෂ් තීක්ෂණ යැවූ පාකිස්තාන ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී හතරේ සීමාව අසල සිට ධනුෂ්ක ගුණතිලක රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් ශදාබ් ඛාන්‍ටද (8) ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවිය. 19 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ප්‍රමෝද් මධුෂාන් හමුවේ නසීම් ෂා ලබාදුන් උඩ පන්දුවක් ලෝන් ඕෆ් කළාපයේ සිට රැකගත් චාමික කරුණාරත්න, ඉන් නොනැවතී 20 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී හාරිස් රවුෆ්ගේ කඩුල්ලද බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
පළමු පන්දුව ලකුණු පුවරුවේ සටහන් වීමටත් පෙර පාකිස්තානය ලකුණු 9 ක් ලබා සිටි අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ දිල්ෂාන් මධුෂංක නිපන්දුවක් සහ වයිඩ් පන්දු 4 ක් යවා තිබිණ. එම අතිරේක ලකුණු නොවන්නට එම ඕවරය ලකුණු 3 කට සීමාවීමට ඉඩ තිබුණ. කෙසේ වුවත් තමා යැවූ පළමු ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දු වලදී පිට පිටම කඩුලු 2 ක් දවාගනිමින් බාබර් අසාම් (5) සහ ෆකාර් සමාන් (0) පිටියෙන් ඉවත් කිරීමට ප්‍රමෝද් මධුෂාන් සමත් විය.
ඉන් අනතුරුව මොහොමඩ් රිස්වාන් සමග එක්වූ ඉෆ්තිකර් අහමඩ් (32) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 71 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. ඉතාමත් ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ රිස්වාන් සහ ඉෆ්තිකාර් දිගින් දිගටම කෙටි ලකුණු ලබාගනිමින් දුර්වල පන්දු පමණක් තෝරා බේරාගෙන හතරේ සීමාවෙන් ඔබ්බට යැවූහ. එහෙත් ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක අෂේන් බණ්ඩාර අතට උඩ පන්දුවක් දෙමින් ඉෆ්තිකාර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, භානුක රාජපක්ෂගේ (නොදැවී 71) දක්ෂ පිතිහරඹය හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තේය. මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන පිතිහරඹයේ නිරත වූ භානුක, පන්දු 45 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. එම දස්කම් හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
ලකුණු 58 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී වනිඳු හසරංග (36) සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනගමින් අඩපණ වී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක්කිරීමට භානුක සමත් විය. ඉන් නොනැවතී ඔහු 7 වැනි කඩුල්ල සඳහා චාමික කරුණාරත්න (නොදැවී 14) සමග එක්ව පන්දු 31 කදී ලකුණු 54 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබුවේය.
පන්දු 21 කදී වාර්තා වූ වනිඳුගේ වේගවත් ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වෙද්දී, පන්දු 14 කදී වාර්තා වූ චාමිකගේ ඉනිම හයේ පහරකින් සමන්විත විය. සිය මුල් ඕවර 2 කඩුල්ලක් දවාගනිමින් ලකුණු 11 කට සීමා කිරීමට නසීම් ෂා සමත්ව සිටියද, ඔහුගේ අවසන් ඕවර දෙකේදී ලකුණු 31 ක් උදුරා ගැනීමට භානුක සහ චාමික සමත් වූහ.
ලකුණු 46 ක් ලබා සිටියදී හාරිස් රවුෆ්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ශදාබ් ඛාන් අතින් ගිළිහී යෑමත් සමග භානුකට අර්ධ ශතකය කරා යෑමට අවස්ථාව උදා විය. අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව මොහොමඩ් හස්නයින්ගේ පන්දුවක් හමුවේ භානුක තවත් උඩ පන්දුවක් ලබාදුන්ද, මිඩ් විකට් කළාපයට දෙපසින් දිව ආ අසීෆ් අලී සහ ශදාබ් ඛාන් එක්ව එය බිම දැමුවේ පන්දුව හතරේ සීමාවෙන් එපිටටද යවමිනි.
පාකිස්තාන වේග පන්දු යවන්නන් තිදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට අධිවේගී ඕවර 6 අවසන් වන විට කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලබාගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. පැයට කිලෝ මීටර් 145 කට වැඩි වේගයකින් දෙපසටම එක ලෙස පන්දුව දෝලන කළ නසීම් ෂා, හාරිස් රවුෆ් සහ මොහොමඩ් හස්නයින් ශ්‍රී ලංකා මුල් පෙළ සුනුවිසුණ කර දැමූහ. එහිදී රවුෆ් පැයට කිලෝ මීටර් 150 කට වැඩි වේගයකින් පන්දු යවන අයුරුද දැකගත හැකි විය.
ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට පිට පිටම දෙවැනි වරටත් තමා මුහුණදුන් පළමු පන්දුවේදී ලකුණු නොළබා දැවී යෑමට සිදුවූයේ පැයට කිලෝ මීටර් 142 ක වේගයෙන් නසීම් ෂා එවූ පන්දුවක් පිට ඉන්නටත් එපිටින් පතිතවී කඩුල්ල තුළට දෝලනය වීම හේතුවෙනි. මෙම තරගවලියේ තරග 6 කට ක්‍රීඩා කළ කුසල්, එහිදී පළමු ඕවරය තුළම දැවී ගිය තෙවැනි අවස්ථාවද එය විය. සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුළ කුසල් ලකුණු නොළබා දැවීගිය 26 වැනි අවස්ථාවද ලෙසද එය සටහන් විය.
සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංකටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට හාරිස් රවුෆ් ඉඩක් ලබා නොදුන්නේය. පැයට කිලෝ මීටර් 146 ක වේගයකින් තමා වෙත පැමිණි පන්දුවක් හමුවේ ගැසූ පහරකින් ඉහළ නැඟි පන්දුව මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි නායක බාබර් අසාම්‍ගේ දෑත් අතර සිරවීමත් සමග පැතුම්ගේ ඉනිම ලකුණු 8 කට සීමා විය.
ඉන් නොනැවතුණ රවුෆ් පැයට කිලෝ මීරට් 151 කට යැවූ පන්දුවකින් ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල බිඳ දැමුවේ ඔහු එක් ලකුණක් ලබා සිටියදීය. වේග පන්දු යවන්නන් තිදෙනා හමුවේ ගැසූ අලංකාර ඩ්‍රයිව් පහර 4 කින් ලබාගත් හතරේ පහර 4 ක් සමග පන්දු 21 කදී ලකුණු 28 ක් ලබා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා දැවී ගියේ පාකිස්තාන කණ්ඩායමේ අතිරේක පන්දු යවන්නකු ලෙස කටයුතු කරන ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමිනි.
තරගාවලිය පුරා නායකයකු මෙන්ම පිතිකරුවකු ලෙසද තම වගකීම අකුරටම ඉටුකළ දසුන් ශානක මෙම තරගයේදී පිතිකරුවකු ලෙස අසාර්ථක විය. ලකුණු 53 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පිටියට පිවිසි දසුන්, දිගින් දිගටම කඩුලු දැවී යෑම වළක්වා ගන්නවා වෙනුවට ලකුණු ලබාගැනීම වේගවත් කිරීමට උත්සාහ කිරීමේදී ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 2 කට දැවී ගියේය.
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.බාබර් ප.රවුෆ් 8
කුසල් මෙන්ඩිස් - ප.නසීම් 0
ධනංජය ද සිල්වා - ඇ. සහ ප.රවුෆ් 28
ධනුෂ්ක ගුණතිලක - ප.රවුෆ් 1
භානුක රාජපක්ෂ - නොදැවී 71
දසුන් ශානක - ප.ශදාබ් 2
වනිඳු හරසංග - ඇ.රිස්වාන් ප.රවුෆ් 36
චාමික කරුණාරත්න - නොදැවී 14
අතිරේක 10
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 170
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන්
කඩුලු වැටීම :
1-02(කුසල්), 2-23(පැතුම්), 3-36(ධනුෂ්ක), 4-53(ධනංජය), 5-58(දසුන්), 6-116(වනිඳු)
පන්දු යැවීම :
නසීම් ෂා 4-0-40-1, මොහොමඩ් හස්නයින් 4-0-41-0, හාරිස් රවුෆ් 4-0-29-3, ශදාබ් ඛාන් 4-0-28-1, ඉෆ්තිකාර් අහමඩ් 3-0-21-1, මොහොමඩ් නවාස් 1-0-03-0
පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - ඇ.ධනුෂ්ක ප.හසරංග 55
බාබර් අසාම් - ඇ.දිල්ෂාන් ප.ප්‍රමොද් 5
ෆකාර් සමාන් - ප.ප්‍රමෝද් 0
ඉෆ්තිකාර් අහමඩ් - ඇ.බණ්ඩාර ප.ප්‍රමෝද් 32
මොහොමඩ් නවාස් - ඇ.ප්‍රමෝද් ප.චාමික 6
කුෂ්දිල් ෂා - ඇ.තීක්ෂණ ප.හසරංග 2
අසීෆ් අලී - ප.හසරංග 0
ශදාබ් ඛාන් - ඇ.ධනුෂ්ක ප.තීක්ෂණ 8
හාරිස් රවුෆ් - ප.චාමික 13
නසීම් ෂා- ඇ.චාමික ප.ප්‍රමෝද් 4
මොහොමඩ් හස්නයින් - නොදැවී 8
අතිරේක 14
එකතුව ඕවර 20 කදී සියලුදෙනා දැවී 147
කඩුලු වැටීම :
1-22(බාබර්), 2-22(ෆකාර්), 3-93(ඉෆ්තිකර්), 4-102(නවාස්), 5-110(රිස්වාන්), 6-111(අසීෆ්), 7-112(කුෂ්දිල්), 8-120(ශදාබ්), 9-125(නසීම්) 10-147(හස්නයින්)
පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 3-0-24-0, මහීෂ් තික්ෂණ 4-0-25-1, ප්‍රමෝද් මධුෂාන් 4-0-34-4, වනිඳු හසරංග 4-0-27-3, චාමික කරුණාරත්න 4-0-33-2, ධනංජය ද සිල්වා 1-0-04-0
ඡායාරූප - ආසියානු ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.