Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලානය එකම බලාපොරොත්තුවයි
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය

ලෝක කුසලානය එකම බලාපොරොත්තුවයි

editorial - 2024 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධයෙන් තමන් සිතා බලමින් සිටින නමුත් ඊට පෙර ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ගෙන ඒම තමන්ගේ එකම බලාපොරොත්තුව බව චමරි අතපත්තු කියයි. මේ වසරේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා අබුඩාබි නුවරදී පැවැත්වෙන තරගාවලියට පිවිසීමට පෙර අද (24 වැනිදා) පස්වරුවේදී පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව එසේ කියා සිටියාය. 

“පටන්ගත්ත කාලෙ ඉඳන්ම මම ඕන කරපු හැම ඉලක්කයක් කරාම වගේ මම මේ වෙනකොට ඇවිත් තියෙනවා. ඒත් නායිකාවක් හැටියට මගේ තිබුණු ලොකුම හීනය තමයි ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ගේන එක. ඒක මට කරන්න බැරිවුණා තාම...”

“මං හිතනවා මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න කලින් ඒකත් කරන්න පුළුවන් වෙයි කියලා... රටක් හැටියට අපිට ඒක කරන්න පුළුවන් වුණොත්, මම හිතනවා ඒක තමයි මගේ ජීවිතයේ ලබන ලොකුම සතුට” යයි චමරි අතපත්තු පැවසුවාය. 

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය හෙට (25 වැනිදා) අබුඩාබි නුවර ටොලරන්ස් ඕවල් පිටියේදී ආරම්භ වෙයි. සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත යුතුව තිබේ. 

චමරි පසුගියදා දකුණු අප්‍රිකාවේදී කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරනු දැකීම තමන්ගේ අපේක්‍ෂාව බවයි. 

“අපි අවසන් පූර්ව වටයට ආවෙත්, මට විශ්වාසයි අපේ ළමයි ඉතුරු ටිකත් කරනවා කියලා. අවසන් පුර්ව වටය අවසන් වෙද්දි අපි ඉන්නේ කොහේද කියලා අපිට බලාගන්න පුළුවන්” යයි ද ශ්‍රී ලංකා නායිකාව කීවාය. 

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ඇතුළත් ‘ඒ’ කාණ්ඩයට තායිලන්තය, ස්කොට්ලන්තය, උගණ්ඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළත් වෙයි. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර හෙට (25 වැනිදා) පැවැත්වෙන තරගයෙනි. සුදුසුකම් තේරීමේ තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙකම බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනී.
 
“ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපට තවත් තරග ටිකක් ලැබෙන එකනම් හොඳයි. මොකද අත්හදා බලන්න ඕන ක්‍රීඩිකාවන් දෙතුන් දෙනෙක් අපට ඉන්නවා” යයි චමරි අතපත්තු කියයි. 

සුදුසුකම් තේරීමේ තරගාවලිට පිවිස සිටින සෙසු කණ්ඩායම් අතරේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගවලිය ජයගනු ඇතැයි යන්න ‘කාගේත් තේරීම’ වූවත් කණ්ඩායමක් ලෙසින් ඒ ගැන ඕනෑවට වඩා සිතන්නට යාම අනතුරුදායක බවත් චමරි කියයි. 

“මේ ආකෘතියේ ක්‍රිකට් ක්‍රීඩාවකදී එකපාර කඩුල්ලක් දෙකක් ගියාම ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවදානමට මුහුණ දෙන්න එපා කියලයි මම මගේ ක්‍රීඩිකාවන්ට කියන්නේ. අපි මේ තරගාවලිය දිනන්න නම් එදා මුහුණ දෙන තරගයේදී අපි හොඳින්ම ක්‍රීඩා කරන්න ඕනේ..” යයි ද ශ්‍රී ලංකා නායිකාව පැවසුවාය. 

“මට තිබුණ එක ඉලක්කයක් තමයි කාන්තා එක්දින තරගයකදී, ශ්‍රී ලංකාව වෙනුවෙන්, ශතකයක් ලබාගන්නා පළමු ක්‍රීඩිකාව වීම. මට ඒක කරන්න පුළුවන් වුණා.... ඊට පස්සේ මට විස්සයි-20 තරගයකදී 100 ක් ගහන්න උවමනාව තිබුණා. මම ඒකත් කරා” යයි චමරි අතපත්තු අද සවස පැවසුවාය. 

වසර 2011 අප්‍රේල් මාසයේදී, සිය හත්වැනි එක්දින තරගයේදීම, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹදී ලකුණු 111 ක් ලබාගත් වමත් පිතිකාරිණිය, වසර 2019 දී ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව සිඞ්නි නුවරදී ලකුණු 113 ක් ලබාගනිමින් සිය මංගල විස්සයි-20 ශතකය සම්පූර්ණ කළාය. එහෙත් සිය වසර 15 ක ක්‍රීඩා දිවියේ හොඳම අන්තර්ජාතික ඉනිම ලෙසින් ඇය සලකන්නේ 2017 දී එංගලන්තයේ බි්‍රස්ටල් නුවරදී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව නොදැවී ලකුණු 178  ක් ලබාගැනීමයි. 

“2017 දී මම 178 ගැහැව්වට පස්සේ තමයි මට අවස්ථාව ලැබුණේ ලෝකයේ විවිධ කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්න. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ගොඩක් අය හිතනවා ‘ෆ්‍රැන්චයිස් ක්‍රිකට්’ කියන්නේ හැම දේම සල්ලි කියලා. හැබැයි මම හිතන්නේ එහෙම නෙමේ. ඒ ක්‍රිකට් ගහලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ අත්දැකීම් වලට එකතු කරගත්තා. 

ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයට පත් පළමු ක්‍රීඩිකාව වන්නේද චමරි අතපත්තුය. පසුගිය වසරේ ජූනි මාසයේදී පළමු වතාවට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 පිතිකාරිණිය වූ චමරි අතපත්තු මේ සතියේදී දෙවැනි වතාවටත් අංක 1 ස්ථානය අත්පත් කරගත්තාය. 

ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

ලෝක කුසලානය එකම බලාපොරොත්තුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.