Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට්ගේ දැවී යාමෙන් එංගලන්තය ඇද වැටෙයි

රූට්ගේ දැවී යාමෙන් එංගලන්තය ඇද වැටෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශතකයක් කරා යමින් සිටි එංගලන්ත නායක ජෝ රූට්ගේ ගමන අවහිර කළ ඕස්ටේ්‍රලියානුවෝ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් අළු බඳුන තරගයේ පළමු දිනය වන අද (4 වැනිදා) නිමා වන විට තරගයේ පාලනය යම් තරමකට රැකගෙන සිටියහ. තරගයේ පළමු දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියේය.

පළමු වතාවට අළු බඳුන තරගාවලියේ නායකත්වය දරන ජෝ රූට් මේ වන විටත් තරගාවලිය පරාජය වී හමාරය. එහෙත් කණ්ඩායම වෙනුවෙන් සටන් වැදීම තවමත් අතහැර දමානැත. ඬේවිඞ් මැලන් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජෝ රූට්ගේ අභිප්‍රාය වන්නේ අඩුතරමේ අවසන් ටෙස්ට් තරගය හෝ ජයගනිමින් කණ්ඩායමේත් තමන්ගේ නම්බුව බේරා ගැනීමයි. ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටි ජෝ රූට් පිටියේ රැඳී සිටියදී කඩුලු 3 කට ලකුණු 228 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම, රූට් දැවීයාමෙන් ඕවරයකට පසුව කඩුලු 5 කට 233 ක් ලෙසින් ඇද වැටිණ. විනාශය රැගෙන ආවේ දෙවැනි නව පන්දුවෙනි.


ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නායක ජෝ රූට් (83) සිය ශතකයට ලකුණු 17 ක් ඈතින් සිටියදී ගැසූ අලංකාර ෆ්ලික් පහරකින් පන්දුව ඇදී යද්දී ස්ක්වෙයාර් ලෙග්හි සිටි මිචෙල් මාෂ් විසින් අති විශිෂ්ට අයුරින් එය උඩපන්දුවක් බවට පත්කරගන්නා ලදි. උඩපන්දුව රැකගත් ආකාරය රූට්ටම අදහාගත නොහැකි විය.

මඳ වේලාවක් තණතීරුවේ වාඩිවී සිටි රූට් අනතුරුව හිස දෙපසට වනමින් ක්‍රීඩාගාරය වෙත පියමැන්නේය. ලෝකයේ මේ වන විට සිටින විශිෂ්ටතම පිතිකරුවන් වන විරාට් කෝලි, කේන් විලියම්සන් සහ ස්ටීව් ස්මිත් සමග සමතැන් ලා සැලකෙන ජෝ රූට් දැවීයන විට දිනයේ ඉතිරිව තිබුණේ ඕවර දෙකක් පමණි.


“එයා ලකුණු 50 කට දැවී ගියත් ලකුණු 150 කට දැවී ගියත් එයා ආපසු ක්‍රීඩාගාරයට යන්නේ කණගාටුවෙන් තමයි. ඒත් ලකුණු ලබාගන්න වුණාම ප්‍රතිවාදීන් සසළ කරමින් ලකුණු ලබාගන්න එයාට පුළුවන්” යයි සහායක පිතිකරු ඬේවිඞ් මැලන් සිය නායකයා සම්බන්ධයෙන් පැවසීය.


කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරා ගත් එංගලන්ත පිලේ මුල් කඩුලු තුනම ලකුණු 95 කට ඇද වැටිණ.


අදහස් (0)

රූට්ගේ දැවී යාමෙන් එංගලන්තය ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.