Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෝගන් සමු ගැනීමට සැරසෙයි

මෝගන් සමු ගැනීමට සැරසෙයි

editorial - 2022 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු වරට එංගලන්තයට එක්දින ලෝක කුසලානයක් ගෙන දීමට නායකත්වය දුන් ඔයින් මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇත. තවමත් සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත් ඉතා ඉක්මනින් වසර හතක නායකත්වයේ වගකීමෙන් නිදහස්වී ඔහු සමු ගැනීම නිවේදනය කරනු ඇතැයි වාර්තා වේ.

මේ වනවිට 35 හැවිරිදි මෝගන්, මේ වසර අවසානයේ ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය මෙහෙයවීමට කැමැත්ත ප්‍රකාශ කර තිබූණි. නමුත් මේ වනවිට ඔහු ලකුණු අතර නොසිටීමත්, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිරිහීමත් හේතුවෙන් ඔහු මෙම තීරණය ගැනීමට පෙළඹී ඇත.

අවසන් වරට නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට ක්‍රීඩා කළ මෝගන් ආබාධයක් හේතුවෙන් තෙවැනි තරගයෙන් ඉවත් විය. එමෙන්ම පළමු තරග දෙකේදී මෝගන් ලකුණු නොලබාම දැවී ගියේය.

එංගලන්තය වෙනුවෙන් ඔහුගේ අවසන් තරග 28 කදී මෝගන්ට ලබාගැනීමට හැකි වූයේ අර්ධ ශතක දෙකක් පමණි.

අයර්ලන්ත ක්‍රීඩකයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මෝගන් ලබාගෙන ඇති එක්දින ලකුණු 7701 න් 6957 ක්ම ලබාගෙන ඇත්තේ එංගලන්ත ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන රට වෙනස් කිරීමෙන් පසුවය. එක්දින තරග 225 කදී ලකුණු 6957 ක් සහ විස්සයි20 තරග 115 කදී ලකුණු 2458 ක් ලබාගෙන ඇති මෝගන් මෙම ආකෘති දෙකෙන්ම එංගලන්ත වෙනුවෙන් මේ වනවිට වැඩිම ලකුණු රැස්කර ඇති පිතිකරුවා ද වන්නේය.

එමෙන්ම එංගලන්ත වෙනුවෙන් එක්දින තරග 126 කදී නායකත්වය ලබාදී ඉන් තරග 76 ක් ද, විස්සයි20 තරග 72 කට නායකත්වයදී ඉන් තරග 42 ක් ද ජයග්‍රහණය කරා මෙහෙයවීමට මෝගන් සමත්වී ඇත. එමෙන්ම මෙම ආකෘති දෙකෙන්ම එංගලන්ත වෙනුවෙන් වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය ලබාදී ඇත්තේද මෝගන් විසිනි.

විස්සයි20 ලෝක කුසලාන දෙකකට එංගලන්තයට නායකත්වය දුන් මෝගන් 2016 දී අනුශූරයන් සහ 2022 අර්ධ අවසන් පූර්ව වටයටත් කණ්ඩායම ගෙන යෑමට සමත්විය. 2015 සිට මෝගන්ගේ උප නායකයා ලෙසද, වරින් වර 13 වතාවක් කණ්ඩායමට නායකත්වය දුන් ජොස් බට්ලර්, මෝගන්ගෙන් පසුව එංගලන්ත සීමිත ඕවර කණ්ඩායම්හී නායකත්වයට පත්වනු ඇත. ඒ අනුව ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ මීළඟ පැවරුමේදී ඔහු කණ්ඩායම මෙහෙයවනු ඇත.


අදහස් (0)

මෝගන් සමු ගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.