Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේ පෙනෙන්නේ 95 නැග්මයි

මේ පෙනෙන්නේ 95 නැග්මයි

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආසියානු කුසලාන ජයග්‍රහණය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැහැදිළි නැග්මක් පෙන්නුම් කරන බවත්, එය, එක්දින ලෝක කුසලාන දිනාගත් වර්ෂයට පෙර වර්ෂය වූ, 1995 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ තත්ත්වයට බොහෝ නෑකම් කියන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා කියයි. දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් මහත් ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වන සුමතිපාල මහතා මෙවර ආසියානු කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය, කණ්ඩායම් හැඟීම, සැලසුම් බුද්ධිමත්ව ක්‍රියාත්මක කිරීම ආදී සියල්ලම වෘත්තීය මට්ටමට තිබූ ඉතාම සාර්ථක සංචාරයක් බවද කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වතාවට ලෝක කුසලානයක් දිනාගත්තේ 1996 දීය. ඊට කලින් වර්ෂය වූ 1995 වසරේ ජනවාරි මාසයේදීම, නවසීලන්ත කණ්ඩායම නවසීලන්තයේදී පරාජය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමුවැනි විදෙස් ටෙස්ට් ජයග්‍රහණය අත්පත් කරගත්තේය. 1995 ජූනි මාසයේදී ඩැව්නෙල් වට්මෝර් මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීමෙන් අනතුරුව පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-1 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදීම පැවැති එක්දින තරගාවලියේදීත් පාකිස්තානු කණ්ඩායම 2-1 කින් පරාජය කළේය.

1995 ඔක්තෝබර් මාසයේදී සාජාහි පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයේදී ප්‍රබල කොදෙව් කණ්ඩායම ලකුණු 50 කින් පරාජය කරමින් සිංගර් ශූරයන්ගේ කුසලාන දිනාගන්නා අර්ජුන රණතුංග ඇතුළු පිරිවර, එම වසර අවසානයේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරග 3 ට  සුදුසුකම් ලබාගනිති.
 
“මට මතක් වෙන්නේ 1995 විතර, අපි සාජා කුසලාන තරගාවලියට ගිය කාලෙත්, අපේ කණ්ඩායමේ මේ වගේ පිබිදීමක් ඇතිවෙලා තමයි 1996 දි අපි ලෝක කුසලානය දිනාගන්නේ. එතන ඉඳලා, 96, 97, 98 වර්ෂ වලදී, ලෝකයේ ශක්තිමත්ම කණ්ඩායමක් විදිහට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවේ. ඒ යුගය තමයි මට මේ වෙලාවෙදි පේන්නේ...”
“මේ ආසියානු කුසලාන තරගාවලියට අපි ආපු විදිය, ඒකට අවතීර්ණ වෙච්ච විදිය, කණ්ඩායමේ හැසිරීම දිහා බැලුවාම, හැමදෙයක්ම, ඉතාමත් සාර්ථක විදියට කළමණාකරණය කිරීම පැහැදිළිවම පේනවා.

“මා හිතනවා දසුන් ශානක, නායකයෙක් හැටියට, කණ්ඩායමට අවශ්‍ය සියුම් වෙනස්කම්, තීක්‍ෂණ විදියට කළමණාකරණය කරන දක්‍ෂ නායකයෙක්. ඒ නිසා මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් 30% කට වඩා නායකයාට තමයි දෙන්න ඕන කියල තමයි මම නම් හිතන්නේ” යයි තිලංග සුමතිපාල මහතා වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටී.

“කවුරුන් කුමක් කීවත්, මේ තරගාවලිය ඉතාමත් අමාරු තරගාවලියක්. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ ප්‍රධාන රටවල් වලට අමතරව, ආසියාවේ අනෙක් රටවල් 23 ම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙලා, ජයග්‍රහණය සඳහා යන තරගාවලියක් මේක.”
“අනෙක, ආසියාව දිනන්නේ නැතිව ලෝක කුසලානය දිනන්න අමරුයි”

“ලෝක කුසලාන තරගවලියට යන වෙලාවෙදි, ඉන්දියාව සහ පාකිස්තානය කියන්නේ ඉතාමත් ශක්තිමත් රටවල් දෙකක්. ඉතින් ඒ අයව පරාජය කරමින් අපි ඉදිරියට යන ආකාරයෙන් පේනවා අපේ කණ්ඩායම දිනෙන් දින වර්ධනය වෙමින්, ශක්තිමත්ව ඉදිරියට යන වෙලාවකයි අපි ඉන්නේ කියලා” යයි දෙවතාවක්ම (1998 සහ 2016) ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති වරයාව සිටි සුමතිපාල මහතා පවසයි.

ආසියානු කුසලාන තරගාවලියේ මුල්ම තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්තානය හමුවේ ලැබූයේ ඛේදජනක පරාජයකි. එහෙත් එම පරාජයම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මනා පන්නරයක් වූයේය.

“මේ හැම අභියෝගයකින්ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්නරයක් ලැබුවා. අභියෝගය තුළින් ඒ අය ශක්තිමත් වුණා. ඒ වගේම සමස්ත ජාතියක් හැටියට ශ්‍රී ලංකාව, රටේම ජනතාව සන්තෝෂයට පත්වෙච්ච අවස්ථාවක් මේක”

“මේ රටේ විශාල අර්බුද, ප්‍රශ්න ගණනාවක් මැද, සුනසුම් සුසුමක් හෙළන්න, මේ කණ්ඩායමේ ජයග්‍රහණය විශාල අස්වැසිල්ලක් වූණා” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා පැවසීය.

1996 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියේදී, ඕස්ටේලියානුවන්ට එරෙහිව පැවැති අවසන් තරග තුනෙන් දෙකක් පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලානය අහිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග දෙකින් එකක් පරාජය වූයේ මහත් විවාද සම්පන්න විනිසුරු තීරණ තිබියදීය. මෙල්බර්න් සහ සිඩ්නි නගරවලදී පැවැති අවසන් තරග දෙකේදීම රොමේෂ් කළුවිතාරණ කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව දැවී ගිය නමුත් එකල විනිසුරු තීරණ විමසන්නට විතීවි අවස්ථා තිබුණේ නැත. එහෙත් එයින් මාස තුනකට පසුව, පාකිස්තානයේ ලාහෝර් නුවරදී,  මාක් ටේලර්ගේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ‘විල්ස්’ ලෝක කුසලානය දිනාගත්හ.

“ආසියානු කුසලානය ජයගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමේ. ඉන්දියාව පරාජය කළා. පාකිස්තානය දෙපාරක් පරාජය කළා. බංගලිදේශය පරාජය කළා. ඇෆ්ඝනිස්ථානය දෙවැනි තරගයේදී පරාජය කළා”

“ප්‍රේක්‍ෂකයන් නම් කැමතියි හැම තරගයක්ම ජයගන්නවා නම්. ඒත් ක්‍රිකට් ක්‍රීඩාවේදී එක දිගට තරග 5 ක් ජයග්‍රහණය කිරීම ඉතාම අමාරුයි. අපි ඒ අමාරු දේ කළා. ඒකෙන් පිළිබිඹු වෙන්නේ දැන් තියෙන්නේ කණ්ඩායම ශක්තිමත්ව ක්‍රියාත්මක වන වෙලාවක් කියන එකයි. සෑම අතින්ම සාර්ථක කණ්ඩායමක ලකුණු තමයි මේ පහළ වෙන්නේ” යයි ද සුමතිපාල මහතා පැවසීය.

ආසියානු කුසලාන තරගාවලියට පූර්වගාමීව පැවැති ටෙස්ට් තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1-1 ක් ලෙසින් අපරාජිතව තරගාවලි දෙකම අවසන් කළහ. මෙම තරගාවලි දෙක පැවැත්වූයේ අන්තර්ජාතික ශ්‍රේණිගතිකිරීම් අනුව ලෝකයේ අංක 1 හිමි ඕස්ට්‍රේලියාවට සහ ලෝකයේ අංක 6 හිමි පාකිස්තානයට එරෙහිවය.

“අපේ 15 දෙනා ගත්තොත්, ඒ 15 දෙනා අතුරින් ඕනෑම 11 දෙනෙක්, අදාළ තරගයට අවශ්‍ය විදියට පෙළගස්වාගෙන තරගය ජයගන්න පුළුවන් තත්ත්වයක් තමා මම දැන් දකින්නේ”

“අනෙක, මේ ජයග්‍රහණය, අපේ රටේ, මේ වෙලාවේ තියෙන තත්ත්වය එක්ක බලනකොට, ජනතාවට විශාල සන්තෝෂයක් ගෙනාපු දෙයක්. ඇත්තටම කියනවා නම් ඒක පිනක් වගේ.”

“අපට තිබුණ සියලුම බලාපොරොත්තු නැතිවෙලා, විශ්වාසය පළුදු වෙච්ච වෙලාවක, අඩුම ගානෙ ක්‍රිකට් කණ්ඩායමවත් මේ විදිහට ක්‍රීඩා කිරීම ගැන ජනතාව ඉතාම සන්තෝස වෙනවා.
 
අපි ඔවුන්ට සුබ පතනවා විතරක් නෙමේ, ඉදිරියේදී, ඒ කියන්නේ ලෝක කුසලාන තරගාවලියෙදි, ඔවුන්ට අවශ්‍ය සියලුම ශක්තිය ඔවුන්ට ලැබිලා, අපේ රටේ කීර්තිනාමය, අභිමානය, ගෞරවය තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා” යයි ද සුමතිපාල මහතා කියයි.


අදහස් (0)

මේ පෙනෙන්නේ 95 නැග්මයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.