දහවැනි වරටත් පැවැති අයි. පී. එල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලසිත් මාලිංග ක්‍රිඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි. පී. එල් තරගාවලියේ ශූරතාවය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් තරගාවලිය පුරාම සිය අධිපත්‍යය විදහා පෙන්වූයේ මූලික වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කණ්ඩායමක් තරගාවලියේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථවද සටහන් කරමිනි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනයි.
රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී ඊයේ (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.
මෙවර තරගාවලියේ මූලික වටයේදී මුණගැසුණ අවස්ථා දෙකේදී මෙන්ම අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පළමු තරගයේදීද පූනේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ මුම්බායි කණ්ඩායම, අවසන් මහ තරගය ජයගත්තේ පිට පිටම තෙවරක් පූනේ කණ්ඩායම හමුවේ ලබා සිටි පරාජයන්ට තිත තබමිනි.
මින් පෙර 2013 සහ 2015 යන වසරවලදීද මුම්බායි කණ්ඩායම අයි. පී. එල් ශූරතාවට දිනාගෙන ඇති අතර එම අවස්ථා තුනේදීම රෝහිත් ශර්මා විසින් මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සම්මාන දිනාගත් අතර වැඩිම හයේ පහර සංඛ්‍යාවකට හිමිකම් කී ක්‍රීඩකයා ලෙස කිංස් XI පංජාබ් කණ්ඩායමේ නායක ග්ලේන් මැක්ස්වෙල්ද (හයේ පහර 26), වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස කොල්කටා නයිට් රයිඞ්ස් කණ්ඩායමේ සුනිල් නරේන්ද (පන්දු 15 කදී) සම්මාන දිනාගත්හ.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට හිමිවන තැඹිලි පැහැති හිස්වැස්ම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර් (ලකුණු 641) ට හිමි වූ අතර වැඩිම කඩුලු ලාභියාට හිමිවන දම් පැහැති හිස්වැස්ම හිමිවූයේ එම කණ්ඩායමේම වේග පන්දුයවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් (කඩුලු 26) ටය. හයිද්‍රාබාද් කණ්ඩායමට තවත් සම්මානයක් හිමිකර දෙමින් එම කණ්ඩායමේ යුවරාජ් සිං තරගාවලියේ අලංකාරම පහරට හිමි සම්මානය තමන් සතුකර ගත්තේය.
ඬේවිඞ් වෝනර් මෙන්ම බුවනේශ්වර් කුමාර්ද මෙම සම්මාන ද්විත්වයට හිමිකම් කී දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඬේවිඞ් වෝනර් 2015 වසරේදීද, බුවනේශ්වර් කුමාර් 2016 වසරේදීද පළමු වරට එම සම්මාන වලට හිමිකම් කියා තිබිණ.
මෙවර තරගාවලියේ විනයානුකූලම කණ්ඩායම ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායම සම්මානයට ප්‍රාත්‍ර වෙද්දී, එම කණ්ඩායමේ නායකත්වය දැරූ සුරේෂ් රයිනා හොඳම උඩ පන්දු රැක ගැනීමට හිමිවන සම්මානය දිනාගැනීමට සමත් විය. ගුජරාට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක බැසිල් තම්පි තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
තරගාවලයේ සුවිශේෂී සම්මාන
වටිනාම ක්‍රීඩකයා – බෙන් ස්ටෝක්ස් (රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම)
වැඩිම ලකුණු (තැඹිලි පැහැති හිස්වැස්ම) – ඩේවිඩ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම) – ලකුණු 641
වැඩිම කඩුලු (දම් පැහැති හිස්වැස්ම) – බුවනේශ්වර් කුමාර් (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම) – කඩුලු 26
වැඩිම හයේ පහර – ග්ලේන් මැක්ස්වෙල් (කිංස් XI පංජාබ් කණ්ඩායම) – හයේ පහර 26
වේගවත්ම අර්ධ ශතකය – සුනිල් නරෙයින් (කොල්කටා නයිට් රයිඞ්ස් කණ්ඩායම) – පන්දු 15
හොඳම පහර – යුවරාජ් සිං (සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම)
හොඳම උඩපන්දුව – සුරේෂ් රයිනා (ගුජරාට් ලයන්ස්කණ්ඩායම)
විනයානුකූලම කණ්ඩායම – ගුජරාට් ලයන්ස් කණ්ඩායම
නැගී එන ක්‍රීඩකයා – බාසිල් තම්පි (ගුජරාට් ලයන්ස්කණ්ඩායම)
ඡායාරූප අනුග්‍රහය - IPL
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.