Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුම්බාහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) පස්වරු 7.30ට ආරම්භ වන පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී අවිෂ්ක ප්‍රනාන්දු යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.
ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර දණහිසේ ආබාධකට ලක්වීම හේතුවෙන් මාස 10 ක පමණ කාලයක් තරග බිමෙන් ඉවත්ව සිටි අවිෂ්ක යළිත් කරළියට පැමිණියේ දෙසැම්බර් මාසයේ පැවැති එල්.පී.එල්. තරගාවලියේදීය.
පිට පිටම දෙවැනි වරටත් එල්.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අවිෂ්ක, මෙවර තරගාවලියේ තරග 10 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 339 ක් රැස්කළේ 37.66 ක සාමාන්‍යයක් සහ 124.63 ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි.
එල්.පී.එල්. තරගාවලියේදී යාපනය කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළද, අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී අවිෂ්ක ක්‍රීඩා කළේ අංක 3 සහ 4 යන ස්ථානවලය. තරග 5 කින් සමන්විත වූ ඕස්ට්‍රේලියානු සංචාරයේ මුල් තරග 2 ට පමණක් ක්‍රීඩා කළ අවිෂ්ක එම තරග දෙකේදීම පන්දුවට පහරදීමට පැමිණියේ අංක 3 පිතිකරුවා ලෙසිනි.
කෙසේ වුවත් එම තරගාවලියට පෙර 2021 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 7 කට ක්‍රීඩා කළ ඔහු ඉන් තරග 6 කදී අංක 4 ස්ථානයේද, එක් තරගයකදී අංක 5 ස්ථානයේදී පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණියේය.
අවිෂ්ක ආරම්භක පිතිකරු භූමිකාවෙන් ඉවත් කර අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා යෙදවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතාගේ සැලැස්මක් බවත්, අවිෂ්ක පන්දුවට පහරදෙන ආකාරය අනුව ඔහුගෙන් කණ්ඩායමට වැඩි දායකත්වයක් ලබාගැනීමේ අරමුණින් ජයවර්ධන මහතා එම තීරණය ගෙන ඇතැයිද නායක දසුන් ශානක වරෙක පැවසීය.
එබැවින් ඉන්දියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයේදී අවිෂ්ක කණ්ඩායමට එක්වන්නේ නම් ඒ ආරම්භක පිතිකරුවකු ලෙසද නැතහොත් මැද පෙළ පිතිකරුවකු ලෙසද යන්න ගැටලු සහගතය. ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක් වන්නේ නම් පැතුම් නිස්සංකට හෝ කුසල් මෙන්ඩිස්ට පියවරක් පසුබමින් අංක 3 ස්ථානයේ පන්දුවට පහරදීමට සිදුවනු ඇත.
යම් හෙයකින් අවිෂ්ක මැද පෙළ පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක් වන්නේ නම් ධනංජය ද සිල්වා, චරිත් අසලංක හෝ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයකුට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවනු ඇත. ධනංජයට සහ අසලංකට දඟ පන්දු යැවීමේ හැකියාවද ඇති බැවින් එහිදී වැඩි අවධානමකට ලක්ව සිටින්නේ භානුකය.
විස්සයි-20 තරග 8 කදී මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර ඇති අවිෂ්ක එහිදී නොදැවීම් 2 ක් සමග ලකුණු 12 ක සමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 72 ක් රැස්කර ඇත. ආරම්භක පිතිකරුවකු ලෙස තරග 15 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 182 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 12.13 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. තරග 7 කදී ඔහු අංක 3 ස්ථානයේ පන්දුවට පහරදී ඇති අතර තරග 2 කදී පන්දුවට පහරදී නොමැත.
ඒ අනුව සමස්තයක් ලෙස ගත්කළ ජාත්‍යන්තර විස්සයි-20 තරග 32 කදී ලකුණු 336 ක් රැස්කිරීමට අවිෂ්ක සමත්ව සිටියද, තමාගේ නම ඉදිරියේ අර්ධ ශතකයක් සටහන් කර ගැනීමට තවමත් ඔහු අපොහොසත්ව ඇත. විස්සයි-20 තරගයකදී අවිෂ්ක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2019 වසරේ නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේදී ලබාගත් ලකුණු 37 ය.
උප නායක වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සුසංයෝගය කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස චාමික කරුණාරත්න කණ්ඩායමට එක් වන්නේ නම් සංචිතයට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නන් 5 දෙනාගෙන් දෙදෙනකුට පමණක් කණ්ඩායමේ ස්ථාන හිමිවනු ඇත. එම ස්ථාන දෙක සඳහා සෙසු පන්දු යවන්නන්ට සාපේක්ෂව කසුන් රාජිත සහ දිල්ෂාන් මධුෂංක ඉදිරියෙන්ම සිටිති.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), පැතුම් නිසංසක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්, කසුන් රාජිත, නුවන් තුෂාර, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ
ඉන්දීය සංචිතය
හර්දීක් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදව් (උප නායක), ඉෂාන් කිෂන්, සංජු සැම්සන්, ශිවම් මාවි, ශුබ්මන් ගිල්, රාහුල් ත්‍රිපාටි, හර්ෂාල් පටේල්, අක්සර් පටේල්, උම්රාන් මලික්, වොෂින්ටන් සුන්දර්, අර්ෂ්දීප් සිං, යුස්වේන්ද්‍ර චාහල්, රුතුරාජ් ගයික්වාද්, දීපක් හූඩා සහ මුකේෂ් කුමාර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.