
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මාරතා ඇරබියන්ස් කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් විය. ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් ඇරබියන්ස් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 88 ක පහසු ඉලක්කයක් හඹාගිය ඇරබියන්ස් කණ්ඩායම පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු චැඞ්වික් වෝල්ටන් පන්දු 26 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් ඇරබියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ක්‍රිස් ලයන් (16) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 56 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද වෝල්ටන් සමත් වූ අතර පන්දු 10 කදී වාර්තා වූ ලයන්ගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය. නජිබුල්ලා සද්රාන් පන්දු 5 කදී නොදැවී ලකුණු 12 ක් රැස්කළේ හයේ පහරක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඇරබියන්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 10 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි. ගැල්ඩියේටර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අසීෆ් ඛාන් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කළේය.
පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 12 කදී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. ප්‍රවේගකාරී පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු 7 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 14 ක් ලබා සිටියටදී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩ පන්දුවක් දෙමිනි දැවී ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක ඞ්වේන් බ්‍රාවෝ ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත් අතර ලසිත් මාලිංග, කසුන් රාජිත සහ මිචෙල් මැක්ලෙනගන් එක් කඩුල්ල බැගින් දවාගනිමින් ග්ලැඩියේටර්ස් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බ්‍රාවෝට අනගි සහායක් දුන්හ.
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 8 ක් දැවී 87
(මොහොමඞ් ශේෂාඞ් 14, භානුක රාජපක්ෂ 23, අසීෆ් ඛාන් නොදැවී 25, බෙන් කටින් 12, ඞ්වේන් බ්‍රාවෝ 16/2)
මාරතා ඇබියන්ස් පිල - ඕවර 7.2 කදී කඩුලු 2 ක් දැවී 89
(චැඞ්වික් වෝල්ටන් නොදැවී 51, ක්‍රිස් ලයන් 16, නජිබුල්ලා සද්රාන් නොදැවී 12)

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.