Last Update  :  2026-01-10 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මා එක්දින, වි:20 තරග වලට කී‍්‍රඩා කරනවා - ඩිල්ෂාන්

මා එක්දින, වි:20 තරග වලට කී‍්‍රඩා කරනවා - ඩිල්ෂාන්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළේ ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් අනාගතය වෙනුවෙන් තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක ප‍්‍රවේගකාරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පැවසීය.

ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගැනීම නිල වශයෙන් ප‍්‍රකාශකිරිම සඳහා කොළඹ, ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී අද (10) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් මෙසේ ද පැවසීය.

‘‘මම තවදුරටත් එක්දින සහ විස්සයි20 තරගවලට ක‍්‍රීඩා කරනවා. ඉදිරි වසර දෙකක පමණ කාලය තුළ ලෝක කුසලාන තරගාවලි දෙකක් තියෙනවා. ඒ සඳහා මම උපරිමයෙන් කටයුතු කළ යුතුයි. මට පහසුවෙන්ම තව වසර දෙක තුනක් ටෙස්ට් තරගාවලට ක‍්‍රීඩා කරන්න පුළුවන්, මෙවැනි තීරණයක් ගන්නා විට එය මට වගේම රටටත් වැදගත් විය යුතුයි’’

‘‘සිම්බාබ්වේ සංචාරයේදී ටෙස්ට් පිටියෙන් සමුගන්න හිටියේ, අවාසනාවකට එම තරගාවලිය නැති වුණා. ඉදිරියේදී පාකිස්තානු සහ බංග්ලාදේශ සංචාරවලදී ටෙස්ට් තරග පහක් තිබෙනවා. එම තණතිලිවල නවකයන්ට සාර්ථකත්වය ළගාවෙන්න පහසුයි, එවිට ඔවුන්ට ලබන වසරේ පැවැත්වෙන එංගලන්ත සංචාරයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒ අවස්ථාව තරුණ ක‍්‍රීඩකයන්ට ලබා දෙන්නයි මේ තීරණය ගත්තේ’’

‘‘ටෙස්ට් පිටියෙන් සමුගැනීම පිළිබඳව මට කණගාටුවක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් මේ තීරණය පිළිබඳව හදවතින්ම සතුටු වෙනවා. තේරීම් කමිටු සභාපති වන මගේ පළමු නායක සනත් ජයසූරිය සමගත් මේ පිළිබඳව මම සාකච්ඡුා කර අවසන් තීරණයට ආවා’’

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ සිටින ජ්‍යෙෂ්ඨයන් වන මහේල, සංගක්කාර සහ තමන් එකවර කණ්ඩායමෙන් ඉවත්වුහොත් කණ්ඩායමට සිදුවිය හැකි තත්ත්වය පිළිබඳව ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්වීය.

‘‘අපි තිදෙනාම එකවර සමුගත්තොත් මැද පෙළ කඩා වැටෙනවා, මහේල සහ සංගක්කාර සමුගන්නා අවස්ථාව ඔවුන් තීරණය කරයි. ඒ දෙපළ සමග නවක ක‍්‍රීඩකයන්ට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදුන්නොන් ඔවුන්ට හොඳ අත්දැකීමක් ලබාගන්න පුළුවන්, ඒ පරිසරය සකස් කිරීම මගේ මේ තීරණයේ පරමාර්ථයයි’’

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයන් රැුසක් සිටින අතර ඔවුන් පසුගිය කාලයේ දස්කම් පෙන්නූ බවත් එහිදී කෞෂාල් සිල්වා සහ කුසල් ජනිත් කැපී පෙනෙන දස්කම් දැක්වූ බවත්, කුසල්ට පිතිකරුවකු- හැටියට හොඳ අනාගතයක් ඇති බවට තමන්ට හැගෙන බවත් ඩිල්ෂාන් පැවසීය.

නවකයන්ට උපදෙසක් ලෙස ඩිල්ෂාන් පැවසුවේ තමන් දුක් විද මෙම තත්ත්වයට පැමිණි බවත් උවමනාවෙන්, උනන්දුවෙන් සහ කැපවීමෙන් ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන ක‍්‍රීඩා කළහොත් සාර්ථක ක‍්‍රීඩකයකු විය හැකි බවයි. තම ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ අමතක නොවන සහ විශේෂ සිදුවීම් සිහිපත් කළ ඩිල්ෂාන් මෙසේ පැවසීය.

‘‘මා පළමු වරට ටෙස්ට් සංචිතයට ඇතුළත් කළ බව දැනගත් අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ අවස්ථාවේ මට කඳුළු ආවා. පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම ලැබුණු අවස්ථාවත් මගේ මතකයේ තියෙනවා. ඒ වගේම ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ රැුස්කළ ලකුණු 193 මගේ ක‍්‍රිකට් දිවියේ නොමැකෙන මතක සටහනක්’’

‘‘ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ වසර කීපය මගේ ක‍්‍රීඩා දිවියේ හොඳ කාලයයි. ඒ කාලය තුළ මට කණ්ඩායමට උපරිම සේවය ලබාදීමේ හැකියා ලැබුණා. ඒ නිසා ආරම්භක පිතිකරු ස්ථානයේ ක‍්‍රීඩා කිරීමේ තීරණය ද මගේ ක‍්‍රිකට් දිවියේ විශේෂ අවස්ථාවක්’’

ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ කාලයේදී තමන්ට කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන්ගෙන් ලැබුණු සහයෝගය පිළිබඳව සෑහීමට පත්වන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට ඩිල්ෂාන් මෙසේ පිළිතුරු සැපයීය.

‘‘කණ්ඩායමක් හැටියට ක‍්‍රීඩා කරන විට ප‍්‍රශ්න තිබුණා. නමුත් මට සහයෝගය ලැබුණා. පසුගිය දේවල් මේ අවස්ථාවෙ කථා කරන්න මම කැමති නෑ. වසර 14 ක මගේ අන්තර්ජාතික ක‍්‍රිකට් දිවියේ, නායකයා ලෙස කටයුතු කළ වසරක පමණ කාලය දුෂ්කරම කාලයයි.
‘‘මම නායකයා ලෙස කටයුතු කරන කාලේ අවස්ථාව දුන් නවකයෝ තමයි දැන් කණ්ඩායමේ ඉන්නේ. මට අනාගතේ ගෙදර ඉදලා හරි සතුටුවෙන්න පුළුවන් මම අවස්ථාව දුන් ක‍්‍රීඩකයෝ මේ ක‍්‍රීඩා කරන්නනේ කියලා’’

දේශපාලනයට පිවිසිමේ අදහසක් තිබෙනවාද යන්න ගැන ඩිල්ෂාන්ගෙන් කළ විමසුකදී ඔහු පැවසුවේ මේ දක්වා එවැනි අදහසක් නොමැති බවත් දේශපාලනයට එන්නේ නම් දේශපාලනය ඉගෙන ගතයුතු බවයි.

‘ඩිල් ස්කූප්’ පහර තම නමින් සඳහන් කර තිබීම තමන්ට මෙන්ම ශ්‍රී ලංකාවට ද ආඩම්බරයක් බවත් තම ජීවිත පිළිබඳව ග‍්‍රන්ථයක් මේ වන විටත් සම්පාදනය වෙමින් පවතින බවත් ඩිල්ෂාන් වැඩි දුරටත් පැවසීය.

මෙහිදී ඩිල්ෂාන් තමන්ගේ දෙමව්පියන්, බිරිඳ, පාසල් කාලයේ සිට පුහුනුකරුවන් සහ තමන්ට සහයෝගය දැක්වූ සියලූ දෙනාට ස්තූතිය පළ කළේය.  

මෙම මස 14 වැනිදා 37 වැනි දිවියට පා තබන ඩිල්ෂාන් ටෙස්ට් තරග 87 කදී ශතක 16 ක් සහ අර්ධ ශතක 23 ක් සමගින් සාමාන්‍ය 40.98 ක් පවත්වමින් ලකුණු 5,492 ක් රැස්කර තිබේ.

කළුතර මහ විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඩිල්ෂාන් 1999 වසරේ නොවැම්බර් මස 18 වැනිදා බුලවායෝහිදී සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් වරම් ලැබීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද, තිලකරත්න ඩිල්ෂාන්ගේ බිරිඳ මංජුලා තිළිණි මහත්මියද, සහභාගි වූහ.


අදහස් (12)

මා එක්දින, වි:20 තරග වලට කී‍්‍රඩා කරනවා - ඩිල්ෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.