Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රධාන නිලධාරීහු කලින්ම යති

ප‍්‍රධාන නිලධාරීහු කලින්ම යති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

SAAG-2016-KMDL-Logo

ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානී ඇතුළු නිලධාරීන් තිදෙනෙක් හෙට (1 වැනිදා) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. ක‍්‍රීඩා උළෙල පෙබරවාරී මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි සහ ශිලෝන් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානී බි‍්‍රගේඩියර් දම්පත් ප‍්‍රනාන්දු, කණ්ඩායම් නියෝජ්‍ය ප‍්‍රධානීන් ලෙස කටයුතු කරන ගාමිණී ජයසිංහ සහ උපාලි කුමාරසිරි යන මහත්වරු අද ඉන්දියාව බලා පිටත්ව යති. ඔවුන්ගේ අපේක්‍ෂාව ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉන්දියාවට පැමිණීමට පෙර අවශ්‍ය පහසුකම් සහ සේවාවන් ඉක්මනින් සැලසුම් කිරීමයි.  

දම්පත් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිබඳව තමන්ට ඇති වගකීම ඉතා බැරූරුම් බවයි. ඔහු පෙන්වා දෙන්නේ ස්ථාන දෙකක තරග පැවැත්වෙන නිසා සංවිධාන කටයුතු කිරීම පිළිබඳව දුෂ්කරතාවන් මතුවිය හැකි බවයි.

‘‘අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉන්දියාවට පැමිණීමට කලින් අපට කරන්න වැඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන් නවාතැන් පහසුකම් පිළිබඳව අප වඩාත් සැලකිලිමත්විය යුතුයි.

මෙවර ක‍්‍රීඩා උළෙලේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක ගැනීම සම්බන්‍ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්වීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කුමන පියවරක් අනුගමනය කරනවද යන්න පිළිබඳව සොයා බලන බවද ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

‘‘ගුවහාටි සහ ශිලෝන් ස්ථාන දෙකක තරග පැවැත්වෙනවා. ගමනේ දුෂ්කරතා සලකා බලා, සිලෝන් නගරයේ තරග වලට ඉදිරිපත්වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිබඳව වගකීම දැරීමට උපාලි කුමාරසිරි මහතාව පත්කිරීමට අප තීරණය කළා යැයි’’ ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව ගුහාටිවල ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ප‍්‍රධානීන් ලෙස දම්පත් ප‍්‍රනාන්දු මහතා සමග ගාමිණී ජයසිංහ මහතා කටයුතු කරති.

ශිලෝන් සහ ගුවහටි නගර දෙක අතර දුර ප‍්‍රමාණය කිලෝමීටර 90 කි. මේ නගර දෙක අතර ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය දෙක හමාරක් පමණ ගතවේ.
 
නේපාලය සහ හිමාල කඳු වැටිය ආසන්නයේ ඇති සිලෝන් නගරය දින 365 පුරාම සීත දේශගුණයක් පවතින ප‍්‍රදේශයක් බව ප‍්‍රනාන්දු මහතා පවසයි. ක‍්‍රීඩා 23 කින් සමන්විත මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී ගුවහටි නගරයේ ක‍්‍රීඩා හතක තරග ඉසව් පැවැත්වීමට නියමිතය.

සාග් ක‍්‍රීඩා උළෙලට මෙවර ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 475 දෙනෙක් සහ නිලධාරීහු 175 දෙනෙක් සහභාගිවෙති. මෙම පිරිස ඉන්දියාවට රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානා තුනක් ද යොදා ගැනීමට නියමිතය.  

‘‘නවාතැන් ගැනීම සඳහා ඒ රටවලට වෙන වෙනම හෝටල පහසුකම් ලබාදෙන බව රටවල නියෝජිතයන් දැනුම්වත් කිරීම් සමුළුවේදී දැන්වුවා. ඒවා පිහිටි ස්ථාන සහ ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පැමිණි විගස ඔවුන් අදාළ හෝටල්වලට යොමු කිරීම් කළ යුතුයි. ඒවා සැලසුම් කිරීමට අප කලින්ම ඉන්දියාවට යෑම අවශ්‍යයි යැයි’’ ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

ක‍්‍රීඩකයන් 1505 ක් සහ ක‍්‍රීඩිකාවන් 1167 ක් මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත අතර 1000 කට වැඩි නිලධාරීහු පිරිසක් ද සහභාගිවෙති.

 


අදහස් (0)

ප‍්‍රධාන නිලධාරීහු කලින්ම යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.