Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පීඩනයේ බර ශී‍්‍ර ලංකා කණ්ඩායමට
සෝබර්ස් - තිසේරා කුසලාන

පීඩනයේ බර ශී‍්‍ර ලංකා කණ්ඩායමට

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ගාලූ කොටුබැම්මේ හැපෙන රළ පරිද්දෙන් තරගයේ වාසිය මොහොතින් මොහොත වෙනස් වෙයි.

දිවා ආහාරය වන විට කොදෙව් පිල අතේ තිබූ වාසිය තේ පානය වන විට ශී‍්‍ර ලංකා පිල සතුවී තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව, ලකුණු 49 ක තීරණාත්මක වාසියක් අත්කරගත් කොදෙව්වෝ ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (01 වැනිදා) සවස කී‍්‍රඩාව නිමාවන විට නැවත වරක් තරගයේ පාලනය අතට ගෙන සිටියහ.

සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය. එහෙත් ඒ වන විටත් කොදෙව් පිල ලකුණු 3 ක් ඉදිරියෙන් සිටියේ තරගයේ පීඩනයේ බර ශී‍්‍ර ලංකා පිල වෙත පටවමිනි.

අනපේක්‍ෂිත දුවද්දි දැවී යාම් දෙකකින් කඩුලූ දෙකක් අහිමි කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට, ඔවුන් සතුකරගත හැකිව තිබූ වාසිය පෙනි පෙනී ගිළිහී ගියේය.

පිතිකරුවන් දුවද්දී දැවී යාම ඉවසිය නොහැකි පාඩුවකි. අනෙක් අතට පන්දුවට පහර දීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙන්නේ අවශ්‍ය වුවහොත් පමණි. ඊළඟ ඉනිමේ පන්දු යැවීමටත් මැතිව්ස් නැත. එවන් තත්ත්වයක් හමුවේ ඉතිරිව ඇති දින දෙකේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් හමුවේ ඇත්තේ වාරකන් කාලයේ මුහුදු යනවා වැනි අවදානමකින් යුත් ගමනකි.

දිවා ආහාරයෙන් පසුවත්, ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් ප‍්‍රමුඛ කොදෙව් පිතිකරුවෝ ස්ථාවර ගමනක යෙදී සිටියහ. එහෙත් දෙවැනි නව පන්දුව අතට ගැනීමත් සමගම කොදෙව් පිතිකරුවන් අල්ලේ නැටවූ රමේෂ් මෙන්ඩිස් (70/6) සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම (59/2) දෙදෙනා ලකුණු 29 ක් තුළදී පිතිකරුවන් පස්දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන ආවෝය.

කඩුලූ 2 කට ලකුණු 145 ක් ලබා සැනසිල්ලේ දිවා ආහාරය ගත් කොදෙව්වෝ තේ පානය වන විට ලකුණු 235 කට කඩුලූ 8 ක් අහිමි කරගෙන සිටියහ. එහෙත් අවසන් පිතිකරුවන් දෙදෙනාගේ ඉවක් බවක් නැති පහරදීම් හේතුවෙන් කොදෙව්වෝ ලකුණු 49 ක මුල් ඉනිමේ වාසියක් රඳවා ගනිමින් ලකුණු 253 කට දැවී ගියහ.

වසර 1993 සිට දිගහැරෙන ශී‍්‍ර ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ඉතිහාස පොතේ කොදෙව් කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවේදී ජයගත් ටෙස්ට් තරගයක් ගැන නම් සඳහනක් නැත. මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 24 ක් පවත්වා ඇති අතර කොදෙව් පිල තරග 4 ක් ජයගත් නමුත් ඒ සියල්ලම බටහිර ඉන්දීය දූපත් සමූහයේදීය.

නායක ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් කණ්ඩායමේ බර කරට ගනිමින් සිය 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත්තද ඔහුගේ ලකුණු සංඛ්‍යාව 72 කින් එහාට ගෙන යා නොහැකි විය.

පා ඉන්නෙන් එපිට පතිත වූ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකින් ආරක්‍ෂා වීමේ පහරක් කරා ගිය නමුත් ඒ වන විට පිතිකරුවාගේ ඉනි තුනම විවෘත වී තිබිණ. පිත්ත පරයා ඇදී ගිය පන්දුව කොදෙව් නායකයාගේ කඩුල්ලේ වදින විට බ‍්‍රැත්වෙයිට් පන්දු 185 කට මුහුණ දී ඒවායින් 9 ක් හතරේ සීමාවට යවා තිබිණ.

කොදෙව් පිල වෙනුවෙන් සාර්ථක පිතිකරුවන් වූයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බ‍්‍රැත්වෙයිට් සහ නිකෲමා බෝනර් පමණි.

බෝනර්ගේ ඉනිම අවසන් කරමින් කඩුලූ දඩයම ඇරඹූ පිට දඟ පන්දු යවන්නා පිතිකරුවන් අන්ද මන්ද කරමින් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. මෙන්ඩිස්ට 6 වැනි කඩුල්ල තිළිණ කරමින් අතිරේක කී‍්‍රඩකයා වූ චාමික කරුණාරත්න රැකගත් උඩපන්දුව, කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් ඔහු යමින් සිටින ගමනේ කඩයිමක් සටහන් කරන්නකි.

 


අදහස් (0)

පීඩනයේ බර ශී‍්‍ර ලංකා කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.