Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන ක්‍රීඩකයෝ හඹාගොස් ඉන්දියාව පරදවති
ආසියානු කුසලාන

පාකිස්තාන ක්‍රීඩකයෝ හඹාගොස් ඉන්දියාව පරදවති

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

 

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී ඉන්දියාව සහ පාකිස්ථානය ‍‍අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. 25,000 කට ආසන්න ප්‍රේකෂකයන් පිරිසක් ඉදිරියේ ලබාගත් මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය තුළ ඉන්දියාව රැකගෙන සිටි අපරාජිත බව බිඳ දැමීමටද පාකිස්තානයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ, පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වූ මොහොමඩ් රිස්වාන් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. කඩුලු රැකී‍මේදී ඇති වූ පාදයේ ආබාධ තත්ත්වයකින් පීඩා විඳිමින් පන්දුවට පහරදුන් ඔහු කිහිප වරක්ම ක්‍රීඩාංගණය තුළදී එම අබාධ තත්ත්වයට ප්‍රතිකාර ලබාගත් අයුරුද දැකගත හැකි විය. ‍‍‍

රිස්වාන්ගේ දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි අසීෆ් අලී පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කළද, අවසන් ඕවරයේ සිවුවැනි පන්දුවේදී අර්ෂ්දීප් සිං හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය. ඒ වන විට පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 2 ක් පසුපසින් සිටි අතර තමා මුහුණදුන් පළමු පන්දුවේදීම එම ලකුණු 2 ලබාගත් ඉෆ්තිකාර් අහමඩ් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

අධිවේගී ඕවර 6 තුළ පන්දු යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නොයි යොදාගනිමින් කඩුල්ලක් දවාගැනීම සඳහා ඉන්දීය නායකයා යෙදූ උපාය සාර්ථක වීමට ඉඩ හැරූ පාකිස්තාන නායක බාබර් අසාම්  ලකුණු 14 කට දැවී ගියේ සිය කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 22 කට සීමා කරමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි ෆකාර් සමාන්ද, යුස්වේන්ද්‍ර චාහල්ගේ ගොදුරක් බවට පත්වන විට පන්දු 17 කදී ලබා සිටියේ ලකුණු 15 ක් පමණි.

රිස්වාන් සමග එක්වූ මොහොමඩ් නවාස් (42) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්ථාන කණ්ඩායමට ජයග්‍රහ‍ණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහිදී තමා මුහුණදුන් පන්දු 20 න් 8 ක්ම පවනට බඳු වේගයෙන් හතරේ සීමාවෙන් එපිටට යැවීමට නවාස් සමත් වූයේ ඉන්දීය පන්දු රකින්නන් නරඹන්නන් බවට පත්කරමිනි. ඔහු දැවී ගියේද බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමු‍වේ ලෝන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක් ගැසීමට උත්සාහ කිරීමේදීය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 181 ක් ලබාගත්තේය. අවසන් ඕවරයේ පළමු පන්දු 3 දී කෝලිට එක් ‍ලකුණක් හෝ ලබාගැනීමට හාරිස් රවුෆ් ඉඩක් ලබා නොදුන් අතර සිවුවැනි පන්දුවේදී දෙවැනි ලකුණු කරා දිවයද්දී ඔහු දුවද්දී දැවී යෑමකට හසුවිය. අවසන් පන්දු දෙකේදී තමාගේ අතටම පැමිණි පන්දුව හරි ආකරයෙන් රැකගැනීමට ෆකාර් සමාන් අසමත් වීම හේතුවෙන් ඉන්දියාවට තවත් ලකුණු 8 ක් හිමිවිය.

පැයට කිලෝ මීටර් 149 ක වේගයකින් මොහොමඩ් හස්නයින් තමා වෙත එවූ පන්දුව ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් නරඹන්නන් වෙත යැවූ විරාට් කෝලි පන්දු 36 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඉන් නොනැවතුන ඔහු, රිෂාබ් පාන්ට් සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 25 කදී ලකුණු 35 ක්ද, දීපක් හූඩා (16) සමග එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 37 ක්ද එක් කළේ ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමමිනි. 

නසීම් ෂා යැවූ පළමු ඕවරයේදී ලකුණු 11 ක් ලබාගත් රෝහිත් ශර්මා (28) සහ ලෝ‍කේෂ් රාහුල් (28) ආරම්භයේ සිටම පාකිස්තාන පන්දු යවන්නන් සිය ග්‍රහණයට නතු කරගත්හ. ඉන් අනතුරුව දිගින් දිගටම ප්‍රහාරය ක්‍රියාත්මක කළ ආරම්භක පිතිකරුවෝ, පස්වැනි ඕවරය අවසන් වන විට ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 54 ක් එක් කළහ. පන්දු 16 කට මුහුණදුන් ශර්මා හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 20 කට මුහුණදුන් රාහුල් හයේ පහර 2 කින් සහ හතරේ පහරකින්ද සිය ඉනිම් සැරසූහ.

කෙසේ වුවත් හයවැනි ඕවරයේදී හාරිස් රවුෆ් යැවූ පළමු පන්දුවට රෝහිත් ශර්මා ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව කුෂ්දිල් ෂාගේ දෑත් අතර සිරවීමත් සමග ඉන්දීය පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. ඉන් පන්දු 5 කට පසුව පන්දුව අතට ගත් ශදාබ් ඛාන්, තමා යැවූ පළමු පන්දුවේදීම ලෝකේෂ් රාහුල්ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූයේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි මොහොමඩ් නවාස්ගේ සහායද ඇතිවය.

හොං කොං කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ප්‍රහාරාත්මක පිතිරහඹයක නිරත වූ සූර්යකුමාර් යාදව්ට‍ මෙම තරගයේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට මොහොමඩ් නවාස් ඉඩක් ලබා නොදුන්නේය. ඩීප් බැක්වඩ් ස්‍කුවෙයාර් ලෙග් කළාපයේ රැදී සිටි අසීෆ් අලී අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 10 කදී යාදව් ලබා සිටියේ ලකුණු 13 ක් පමණි. මෙම තරගයත් සමග අවසන් වරට පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ තරග තුනේදී යාදව්ගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 11 ක්, 18 ක් සහ 13 ක් ලෙසිනි.

මුලික වටය යට‍තේ ක්‍රීඩා කළ තරග‍ දෙකේදී එක් පන්දුවකට පමණක් මුහුණදී සිටි දිනේෂ් කාර්තික් කණ්ඩායමෙන් ඉවත් කරමින් මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමට කැඳවූ රිෂාබ් පාන්ට්ට ‍පන්දු 12 කින් ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ රිවස් ස්වීප් පහරක් ගැසීමට යෑමේදී අසීෆ් අලි රැකගත් උඩ පන්දුවක් හේතුවෙන් පාන්ට්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

‍පෙර පැවැති ඉන්දු - පාකිස්තාන තරගයේ වීරයා බවට පත්වූ හර්දීක් පාණ්ඩ්‍යාට මෙම තරගයේදී ලකුණු ලබාගැනීමටත් පෙරාතුව ආපයින්ම ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවූයේ මොහොමඩ් හස්නයින්ගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි අසීෆ් අලී අතට පහසු උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි. හත්වැනි පිතිකරුවා ලෙස  පිටියට පිවිස ඉතා දක්ෂ ලෙස පිත්ත හැසිරවූ දීපක් හූඩා, නසීම් ෂාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු ලබාගැනීම වේගවත් කිරීමට ගත් උත්සාහයක් අසාර්ථ වීමෙනි.

පෙර තරගයට ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනස්කම් තුනක් සමගින් මෙම තරගයට සහභාගි වූ අතර එහිදී දිනේෂ් කාර්තික්, ‍අවේෂ් ඛාන් සහ ආබාධයකට ලක්ව සිටින රවින්ද්‍ර ජදේජා වෙනුවට රිෂාබ් පාන්ට්, දීපක් හූඩා සහ රවි බිෂ්නොයි කණ්ඩායමට කැඳවා සිටියහ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගයට සහභාගි වූයේ එක් වෙනස්කමක් සමගිනි. ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක ශානවාස් දහානි වෙනුවට මොහොමඩ් හස්නයින් එහිදී පාකිස්තාන කණ්ඩායමට එක්ව සිටියේය.

 

ඉන්දියාව
ලෝකේෂ් රාහුල් - ඇ.නවාස් ප.ශදාබ්             28
රෝහිත් ශර්මා - ඇ.කුෂ්දිල් ප.රවුෆ්                 28
විරාට් කෝලි - දුවද්දී දැවී ගියා                       60
සූර්යකුමාර් යාදව් - ඇ.අසීෆ් ප.නවාස්             13
රිෂාබ් පාන්ට් - ඇ.අසීෆ් ප.ශදාබ්                     14
හර්දීක් පාණ්ඩ්‍යා - ඇ.නවාස් ප.හස්නයින්         0
දීපක් හූඩා - ඇ.නවාස් ප.නසීම්                       16
බුව‍නේෂ්වර් කුමාර් - නොදැවී                          0
රවී බිෂ්නොයි - නොදැවී                                  8
අතිරේක                                                       14
එකතුව ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී             181

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
යුස්වේන්ද්‍ර චාහල් සහ අර්ෂ්දීප් සිං‍‍

කඩුලු වැටීම :
1-54(ශර්මා), 2-62(රාහුල්), 3-91(යාදව්), 4-126(පාන්ට්), 5-131(පාණ්ඩ්‍යා), 6-168(හූඩා), 7-173(කෝලි)

පන්දු යැවීම :
නසීම් ෂා 4-0-45-1, ‍මොහොමඩ් හස්නයින් 4-0-38-1, හාරිස් රවුෆ් 4-0-38-1, මොහොමඩ් නවාස් 4-0-25-1, ශදාබ් ඛාන් 4-0-31-2

 

පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - ඇ.යාදව්. ප.පාණ්ඩ්‍යා   71
බාබර් අසාම් ‍- ඇ.ශර්මා ප.බිෂ්නෝයි              14
ෆකාර් සමාන් - ඇ.කෝලි ප.චාහල්                15
මොහොමඩ් නවාස් - ඇ.හූඩා ප.බුවනේෂ්වර්   42
කුෂ්දිල් ෂා - නොදැවී                                     14
අසීෆ් අලී - ක.මු. කළා ප.අර්ෂ්දීප්                   16
ඉෆ්තිකර් අහමඩ් - නොදැවී                              2
අතිරේක                                                         8
එකතුව ඕවර 19.5 කදී කඩුලු 5 ක් දැවී          182

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ශදාබ් ඛාන්, නසීම් ෂා, හාරිස් රවුෆ් සහ මොහොමඩ් හස්නයින්

කඩුලු වැටීම :
1-22(බාබර්), 2-63(ෆකාර්), 3-136(නවාස්), 4-147(රිස්වාන්), 5-180(අසීෆ්)

පන්දු යැවීම :
බුවනේෂ්වර් කුමාර් 4-0-40-1, අර්ෂ්දීප් සිං 3.5-0-27-1, රවී බිෂ්නොයි 4-0-26-1, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-44-1, යුස්‍වේන්ද්‍ර චාහල් 4-0-43-1


අදහස් (0)

පාකිස්තාන ක්‍රීඩකයෝ හඹාගොස් ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.