Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානයට ලකුණු 20 ක ජයක්

පාකිස්තානයට ලකුණු 20 ක ජයක්

ශනුක අරවින්ද - 2017 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 177 ක් පමණි. එහිදී සොහේල් ඛාන්, ශඩාබ් ඛාන් සහ රුම්මාන් රායිස් කඩුලු 2 බැගින් දවාගනිමින් ලෝක කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ලෝක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ටමීම් ඉක්බාල් (18) සහ හෂීම් අම්ලා (26) සමත් වුවද, මුලු ලකුණු සංඛ්‍යාව 48 ක් වන විට ඔවුන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට රුම්මාන් රායිස් සමත් විය. පන්දු 17 කදී වාර්තා වූ හෂීම් අම්ලාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ෆෆ් ඩුප්ලේසී (29) සහ ටිම් පේන් (25) ලෝක කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවද, පාකිස්ථාන පන්දුයවන්නන් හමුවේ වේගයෙන් ලකුණු රැස්කිරීමට ලෝක කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් අපොහොසත් වීම නිසා එම බලාපොරොත්තු සුන්ව ගියේය. පන්දු 18 කදී වාර්තා වූ ඩුප්ලේසීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ පේන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ලෝක කණ්ඩායමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩැරන් සැමී පන්දු 16 කදී දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී වේගවත් ලකුණු 29 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පන්දු 11 කට මුහුණදුන් තිසර පෙරේරා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 17 ක් රැස්කරගෙන සිටියදී දුවද්දී දැවීයාමකට හසුව පිටියෙන් ඉවත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ බාබර් අසාම් පන්දු 52 කදි ලකුණු 86 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි. ආරම්භක පිතිකරු අහමඉ් ශේෂාඞ් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමටද අසාම් සමත් විය.

පාකිස්තාන ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂොයිබ් මලික් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය. පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මලික්ට අනගි සහායක් දුන් ඉම්ඩාඞ් වසීම්, පන්දු 4 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු සංඛ්‍යාව 15 කි.  

පාකිස්තාන පිතිකරුවන්ගෙන් දැඩි ලෙස පහර කෑමකට ලක් වූ තිසර පෙරේරා සිය ඕවර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 51 ක් ලබාදුන් අතර බාබර් අසාම්ගේ සහ ෂොයිබ් මලික්ගේ කඩුලු දවාගැනීමට සමත් විය.

පාකිස්තාන කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 5 කට 197
(අහමඞ් ශේෂාඞ් 39, බාබර් අසාම් 86, ෂොයිබ් මලික් 38, ඉම්ඩාඞ් වසීම් නොදැවී 15, තිසර පෙරේරා 51/2)

ලෝක කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 කට 177
(ටමීම් ඉක්බාල් 18, හෂීම් අම්ලා 26, ටිම් පේන් 25, ෆෆ් ඩුප්ලේසී 29, ග්‍රාන්ට් එලියට් 14, තිසර පෙරේරා 17, ඩැරන් සැමී නොදැවී 29)

-036

 


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 20 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.