Last Update  :  2025-12-15 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් තේරීම් කමිටුවේ මුල් පුටුවට

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් තේරීම් කමිටුවේ මුල් පුටුවට

editorial - 2025 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තේරීම් කමිටුවේ (සභාපති - උපුල් තරංග) නිල කාලය මේ මාසයත් සමගින් අවසන් වීමට නියමිතය. ඒ වෙනුවට පත්කරනු ලබන නව තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් හිටපු තේරීම් කමිටු සභපතිවරයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කරනු ලැබීමට නියමිත බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පත වාර්තා කරයි. 

ක්‍රිකට් හෝ වෙනත් ඕනෑම ක්‍රීඩාවක් සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටුව නම් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීමකි. ඒ සඳහා අදාළ ක්‍රීඩාවේ ජාතික පාලනාධිකාරියෙන් (ආයතනය/සම්මේලනය හෝ සංගමය) නාම යෝජනා කැඳවීම සාමාන්‍ය සම්ප්‍රදාය වූවත්, එය එසේ සිදු නොවූ අවස්ථා පසුගිය කාලයේදී ඕනෑතරම් දැකගත හැකිවිය. 

මෙම තත්ත්වය අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින්, නුදුරු දිනයකදීම, සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් නව ජාතික (ක්‍රිකට්) තේරීම් කමිටුවක් පත් කරනු ලැබීමට නියමිතය. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරයා වනු ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි. කෙසේ වෙතත් වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයාද ඇතුළුව, තවත් සාමාජිකයන් කිහිප දෙනකු ඉදිරියටත් එහි රඳවාගැනීම සම්බන්ධයෙන් ද ඇමතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවත් දැනගන්නට තිබේ. 

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මීට පෙර ද ජාතික තේරීම් කමිටුවේ සභාපති ධූරයේ කටයුතු කර තිබේ. 2021 අප්‍රේල් මාසයේදී ප්‍රථම වරට එම තනතුරට පත් වූ වික්‍රමසිංහ මහතා, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වාම සිය තනතුරේ රැඳී සිටියේය. ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට මාස එකහමාරක් තිබියදී වික්‍රමසිංහ මහතාව නැවතත් තේරීම් කමිටු සභාපතිවරයා කිරීමට ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය වී තිබේ.
 
ඉතාම සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි, දෙවැනි වතාවේදී තේරීම් කමිටු සභාපති තනතුර බාරගැනීමට වික්‍රමසිංහ මහතා පළමුව කැමති වී නැත. එහෙත් “ක්‍රීඩා ඇමතිවරයාගේ ඉල්ලීම අහක දාන්න එපා” යි ඉදිරිපත් වූ අදහස් හේතුවෙන් නැවතත් තනතුර බාරගැනීමට වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇත. 

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් බන්දුල දිසානායක යන මහත්වරුන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී නව තේරීම් කමිටුවේ සංයුතිය පිළිබඳවත් සාකච්ඡා කර තිබේ. මෙම රැස්වීමේදී උපුල් තරංග, හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන අය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ. ඔවුන් අතුරින් උපුල් තරංග, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන වත්මන් තේරීම් කමිටුවේ සාමාජිකයෝ වෙති. 

මීට පෙර තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් සිටියදී වුවද, කණ්ඩායම අසාර්ථක වන අවස්ථාවලදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දැඩි විවේචනයන්ට පහසු ගොදුරක් වී තිබිණ. එහෙත් සමාජ මාධ්‍ය විවේචනයන්ට නොබියව මුහුණ දුන් වික්‍රමසිංහ මහතා ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ නොසැලී සිටියේය. එම කාල පරාසයන්හිදී වික්‍රමසිංහ මහතා විසින් ගන්නා ලද තීරණවල දිගු කාලීන යහපත් ප්‍රතිඵල දැන් පෙනෙන්න තිබෙන නමුත් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වශයෙන් දසුන් ශානක පත්කිරීමත් ඔහුගේ කාලයේදී ම ගන්නා ලද තීරණයකි. 

- 213 


අදහස් (0)

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් තේරීම් කමිටුවේ මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.