Last Update  :  2025-08-14 17:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රබලයෝ රැසක් මැතිව්ස්ගේ අණසකට

ප්‍රබලයෝ රැසක් මැතිව්ස්ගේ අණසකට

ශානුක අරවින්ද - 2020 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට පිවිසෙන කොළඹ ‘කිංග්ස්‘ කණ්ඩායම සඳහා ලොව පරසිඳු ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් තෝරා ගැනීමට එහි හිමිකරුවෝ පියවර ගෙන සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාත්, කොදෙව් පිලේ ප්‍රබලතම ක්‍රීඩකයකු වන ඔන්ඩ්‍රි රසල්  මෙන්ම මෙවර අයි.පී.එල්. තරගාවලියට ගිය එකම ශ්‍රී ලාංකිකයා වන ඉසුරු උදානද කොළඹ පිලට තෝරාගනු ලැබ සිටිති.

කොළඹ කිංග්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට හිමව ඇත. කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙසින් පළමුවෙන්ම කණ්ඩායමට තෝරා ගන්නා ලද මැතිව්ස් විස්සයි20 ජාත්‍යන්තර තරග 13 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර ඉන් තරග 5 ක් ජයගෙන තිබේ.
 
විස්සයි20 තරග 156 කදී අර්ධ ශතක 9 ක් සමග ලකුණු 2499 රැස්කිරීමට මැතිව්ස් සමත්ව ඇත්තේ 25.50 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එහිදී 120.66 ක ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගැනීමටද ඔහු සමත් වී ඇත. විස්සයි20 තරගවලදී මැතිව්ස් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 80 වන අතර එහි කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 32.33 ක අගයක් ගනී.

ටෙස්ට් සහ එක්දින තරග වලදී වැඩි වශයෙන් පිතිකරුවකු ලෙසින් කටයුතු කරන නමුත් විස්සයි-20 තරගයකදී පිතිහරඹයට අමතරව තමන්ගේ ඕවර 4 ම සම්පූර්ණ කිරීමේ නොහැකියාවක් මැතිව්ස්ට නොමැත. එබැවින් මෙම තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් නම් තුන් ඉරියව් ක්‍රීඩකයා ගැන මනා වැටහීමක් ලබාගත හැකිවනු ඇත.

කොළඹ කණ්ඩායමේ කලමනාකාරීත්වය විසින් ක්‍රීඩකයන් 22 ‍දෙදෙ‍නකුගෙන් සමන්විත අවසන් සංචිතය ප්‍රකාශයට පත් කරන ලද අතර ඊට විදෙස් ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයෝ 15 දෙනෙක් ඇතුළත්ව සිටිති.

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල්, ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මන්ප්‍රීත් ගෝනි, ඇෆ්ගනිස්තාන පා දඟ පන්දු යවන ක්‍රීඩක ක්වායිස් අහමඩ් සහ තුන් ඉරියව් ක්‍රීඩක කරීම් ඛාන් සාදීක් විදෙස් ක්‍රීඩකයන් ලෙස කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිං, එංගලන්ත ක්‍රීඩකයන් වන ලෝරි එවන්ස් සහ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ්ද කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින ‍විදෙස් ක්‍රීඩකයන් වන අතර ඔවුන් තිදෙනාම ඉදිරි පෙළ පිතිකරු‍වෝ වෙති.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆ‍‍ෆ් ඩුප්ලෙසි සහ ඉන්දීය ක්‍රීඩක මන්වින්දර් බිස්ලාද ක්‍රීඩකයන් තෝරාගැනීමේ මූලික අදියරේදී කොළඹ කණ්ඩායමට ඇතුළත් වූහ. එහෙත් එංගලන්ත - දකුණු අප්‍රිකානු තරගාවලිය හේතුවෙන් ඩුප්ලෙසිද, පෞද්ගලික හේතුවක් මත බිස්ලාද තරගාවලියෙන් ඉවත් වූහ.

කැනේඩියානු ක්‍රීඩක රවීන්ද්‍රපාල් සිංට කොරෝනා ආසාදනය වීම නිසා ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. සුවවී පැමිණියද දින 14 ක කාලයක් නිරෝධායනව වීමට සිදුවන හෙයින් ඔහුට මෙම තරගාවලිය අහිමි වනු ඇත. එබැවින් කොළඹ පිලට තවත් දේශීය ක්‍රීඩකයකු ආදේශ කිරීමේ අවස්ථාව කොළඹ පිලට තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ මෙවර අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ, ඉසුරු උදාන දෙදෙනාත් කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින දේශීය ක්‍රීඩකයන් අතර සිටිති.  විස්සයි20 තරග 124 කදී ශතකයක් සහ අර්ධ ශතක 18 ක් සමග ලකුණු 2818 ක් රැස්කිරීමට චන්දිමාල් සමත්ව ඇති අතර විස්සයි20 තරග 145 කදී උදාන බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 153 කි.

අමිල අපොන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තරිඳු කෞෂාල් සහ ධම්මික ප්‍රසාද් වැනි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමිකරගත් ක්‍රීඩකයෝද කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. එම කණ්ඩායමට ඇතුළත්ව සිටින නැගී එන ක්‍රීඩකයන් ලෙස තික්ෂිල ද සිල්වා, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, කළණ පෙරේරා, තරිඳු රත්නායක සහ නවෝද් පරණවිතාන යන ක්‍රීඩකයන් හැඳින්විය හැකිය.

‍කණ්ඩා‍යමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික හර්ෂල් ගිබ්ස් මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස රංගන හේරත් මහතා කටයුතු කරයි. තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කිංග්ස් කණ්ඩායම මහනුවර ටස්කස් කණ්ඩායමට එරෙහිව මේ මස 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.


කොළඹ කිංග්ස් සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ඔන්ඩ්‍රි රසල්, මන්ප්‍රීත් ගෝනි, රවින්ද්‍රපාල් සිං, ලෝරි එවන්ස්, ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ්, ක්වායිස් අහමඩ්, කරීම් ඛාන් සාදීක්, ඉසුරු උදාන, අමිල අපොන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තරිඳු කෞෂාල්, ධම්මික ප්‍රසාද්, තික්ෂිල ද සිල්වා, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, කළණ පෙරේරා, තරිඳු රත්නායක සහ නවෝද් පරණවිතාන

 


අදහස් (0)

ප්‍රබලයෝ රැසක් මැතිව්ස්ගේ අණසකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.