Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජයට - ‍වැන්ඩසේට - අසිතට කොරෝනා

ධනංජයට - ‍වැන්ඩසේට - අසිතට කොරෝනා

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටි ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ති‍බේ. ඊයේ (6 වැනිදා) සිදුකර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයෙන් වෙනත් හෝටලයකට මාරු කර එහි දින 5 ක කාලයක් හුදෙකලා කිරීමට කණ්ඩාය⁣මේ කලමණාකාරීත්ව පියවර ගෙන තිබේ. ඔවුන් තිදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග සහායක කාර්ය මණ්ඩලයද ඇතුළුව කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇති නමුත් ඔවුන් සියලු දෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මෙම තරගාවලිය අතරතුර කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ට සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමටද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ඔවුන් දෙදෙනාද දින පහක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්වූහ. මේ වන විට සුවය ලබා සිටින මැතිව්ස්, දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අරමුණින් යළිත් පුහුණුවීම් ආරම්භ කර ඇත. කෙ‍සේ වුවත් ප්‍රවීන්ට නිරෝධානයනය වීම සඳහා තවත් දින 2 ක කාලයක් ඉතිරිව ඇති බැවින් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි චයිනමන් දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ‍තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුට අමතරව සංචිතයේ පුරප්පාඩු පිරවීම සඳහා මින් පෙර මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත මනසිංහ සහ ප්‍රභාත් ජයසූරිය යන දඟ පන්දු යවන්නන්ද සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කළේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 10 ක දැවැන්ත පරාජයක් ලැබූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (8 වැනිදා) සිට 12 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ධනංජයට - ‍වැන්ඩසේට - අසිතට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.