Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජය - වෙල්ලාලගේ යාපනයට
ලංකා ප්‍රිමියර් ලීග්

ධනංජය - වෙල්ලාලගේ යාපනයට

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මේ 31 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර සඳහා ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ සිය කණ්ඩායමට ඍජුවම ඇතුළත් කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී ධනංජය කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර වෙල්ලාලගේ ක්‍රීඩා කරන මංගල එල්.පී.එල්. තරගාවලිය මෙය වේ.  

ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයන් දෙදෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ඍජුවම සිය කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීමට තරගාවලියේ සංවිධායකයන් අවසර ලබා දී තිබිණ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු එවින් ලුවිස් සහ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක හාඩස් විලියන් විදෙස් ක්‍රීඩකයන් ලෙස ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබේ.

එක් එක් කණ්ඩායම්වලට ඉකුත් වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් දේශීය ක්‍රීඩකයන් සිවුදෙනා බැගින්ද, විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද මෙම වසරේදීත් එම කණ්ඩායම්වලම රඳවාගැනීමටද තරග සංවිධායකයන් ඉඩකඩ ලබා දී තිබිණ. ඒ අනුව කණ්ඩායමේ නායක තිසර පෙරේරා, පිතිකරු අශාන් රන්දික, පිට දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණ සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයන් මෙම වසරේදීත් කණ්ඩායමේ රඳවා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබේ.

ඔවුන්ට අමතරව ඉකුත් වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මතුල්ලා ගුර්බාස් සහ පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික්ද මෙම වසරේදීත් එම කණ්ඩයමේම රඳවාගැනීමට එහි කලමණාකාරීත්වය තීරණය කර තිබේ.

කෙසේ වුවත් ඉකුත් වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙම වසරේදී එම කණ්ඩයමෙන් ඉවත්ව ගොස් ඇත. ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙර කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් මෙම වසර සඳහා වනිඳු ඍජුවම සිය කණ්ඩායමට ඇතුළත් කරගෙනු ලැබ ඇත.


අදහස් (0)

ධනංජය - වෙල්ලාලගේ යාපනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.