ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දියානු සිවිල් සමාජයේ ඉහළම සම්මානයක් වන පද්ම භූෂන් සම්මානය පිරිනමන ලදි. ඉන්දියාව දෙවැනි වතාවටත් ලෝක ක්‍රිකට් කුසලානය දිනා හරියටම වසර 7 ක් සම්පූර්ණ වූ 2018 අප්‍රේල් 2 වැනිදා (ඊයේ) ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා විසින් දෝනිට මෙම සම්මානය පිරිනමන ලදි.
2011 අප්‍රේල් 02 වැනිදා රාත්‍රියේ මුම්බායිහි වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පන්දුව නරඹන්නන් අතරට යැවූ මහේන්ද්‍ර සිං දෝනි දෙවැනි වතාවටත් ඉන්දියාවට ලෝක ක්‍රිකට් කුසලාන දිනා දුන්නේය.
ලෝක කුසලාන ජයග්‍රහණයෙන් මාස කිහිපයකට පසුව (2011 නොවැම්බර් මාසයේදී) ඉන්දීය යුද හමුදාව විසින් මහේන්ද්‍ර සිං දෝනිට ලුතිනන් කර්නල් (ගෞරව) නිලය පිරිනමනු ලැබිණ. කපිල් දේව් (ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලාන දිනාගත් පළමු ක්‍රිකට් නායකයා) හැරුණු විට මෙම ලුතිනන් කර්නල් (ගෞරව) නිලය හිමිවූ එකම ක්‍රිකට් ක්‍රීඩකයා දෝනිය.
පද්ම භූෂන් සම්මානය ලබාගැනීම සඳහා සිය නම ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී ඉන්දීය යුද හමුදා ඇඳුමින් සැරසී සිටි හිටපු ක්‍රිකට් නායකයා සම්මානය ලබාගැනීමට ගියේ හමුදා නිලධාරියකු මෙන් සමාචාර ගමනිනි. ඔහු සමාචාර ගමනේදීත් පිතිහරඹයේ යෙදෙන්නාක් මෙන් සුපුරුදු බවක් පෙන්වීය.
ලෝක ශූරතා දෙකකට හිමිකම් කියන බිලියඞ් සහ ස්නූකර් ක්‍රීඩකයකු වන පන්කාජ් අද්වානිටද පද්ම භූෂණ සම්මානය පිරිනැමිණ.
වසර 2007 දී විස්සයි-20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය පිලට නායකත්වය දුන් දෝනි, 2011 දී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් දෙවැනි වතාවටත් එක්දින ලෝක ශූරතාව ඉන්දියාවට දිනා දුන්නේය. අනතුරුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ලෝකයේ අංක 1 ස්ථානයට ඉන්දීය පිල කැඳවාගෙන ගිය පළමු නායකයාද විය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේදී 2008 දී සහ 2009 දී වසර සඳහා විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා වූ මහේන්ද්‍ර සිං දෝනි, 2007 දී රජිව් ගාන්ධි රත්න සම්මානය හිමිකරගත්තේය. ඉන් අනතුරුව ඉන්දීය සිවිල් සමාජයේ සිවුවැනි ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය 2009 දී හිමිකරගැනීමට දෝනිට හැකිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.