Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි තරගයටත් වැස්සෙන් බාධා
වෙලිංටන් ටෙස්ට් තරගය

දෙවැනි තරගයටත් වැස්සෙන් බාධා

editorial - 2023 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තණතීරුවේ තිබූ ඝණකම තණකොල තට්ටුවත්, වැහි බර අඳුරත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම පන්දු යැවීම තෝරාගත් නමුත් වෙලිංටන් නුවරදී අද (17 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුල් දිනය නිමා වන විට නවසීලන්ත පිතිකරුවෝ කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියහ. ආරම්භ පිතිකරු ඩෙවොන් කොන්වේගේ (78) පිතිහරඹය නිසා නවසීලන්ත කණ්ඩායම මෙම ස්ථාවර ස්ථානය කරා අවතීර්ණ වී සිටිී. 

මෙම තරගය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ 2500 වැනි ටෙස්ට් තරගයයි. 

අද උදෑසන සිටම පැවැති වර්ෂාව හේතුවෙන් වෙලිංටන් හි බේසින් රිසව් ක්‍රීඩාංගණයේ පැත්තක් කුඩා ප්‍රමාණයේ වැවක් බවට පත්වී තිබිණ. සුපර් සොපර් යන්ත්‍රයකින් ක්‍රීඩාංගණයේ ජලය ඉවත් කිරීමෙන් අනතුරුව දිවා ආහාරයෙන් පසු තරගය ආරම්භ කෙරිණ. 

හතරේ පහර 8 ක් ද සහිතව, පන්ද 69 කින් සිය අර්ධ ශතකය ලබාගත් ඩෙවොන් කොන්වේ ශතකය කරා පියමං කරමින් සිටි නමුත්, පන්දු යැවූ ධනංජය ද සිල්වාගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙන් ලකුණු 78 ක් ලබා සිටියදී ආපසු ක්‍රීඩාංගාරයට ගියේය. පන්දු 108 කට මුහුණ දුන් කොන්වේගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වී තිබිණ. 

පළමු ටෙස්ට් තරගයේදී ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළ කේන් විලියම්සන්, දිනය අවසන් වන විට නොදැවී ලකුණු 26 ක් ලබා සිටියේය. විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 37 කි. 

පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස පිටියට යැවුණු නමුත් කොන්වේ සහ ටොම් ලෙතම් දෙදෙනා ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් හොඳ ආරම්භයක් ලබාගත්හ. එහෙත් ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ප්‍රභාත් ජයසූරියට උඩපන්දුවක් දුන් ලෙතම් ලකුණු 21 ක් ලබා දැවී ගියේය. ලෙතම්ගේ දැවී යාමෙන් ඕවර 10 කට පසුව කොන්වේත් දැවී ගියද, විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් දෙදෙනා ඉනිම ස්ථාවර කළහ. 

නිශාන් මධුෂ්ක අද තරගයේදී ටෙස්ට් හිස්වැස්ම දිනාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් මධුෂ්කට ටෙස්ට් හිස්වැස්ම පිරිනමන ලදි. 

මේ අතර නවසීලන්ත වේග පන්දු යවන්නා වන නීල් වැග්නර් පසුගිය තරගයේදී ආබාධයකට ලක්වූ හෙයින් වැග්නර්ගේ ස්ථානය ඩග් බ්‍රේස්වෙල්ට හිමිවිය. වසර 7 කට පසුව ටෙස්ට් පිටියට පිවිසි ඩග් බ්‍රේස්වෙල්, පළමු තරගයේදී ක්‍රීඩා කළ මයිකල් බ්‍රේස්වෙල්ගේ ඥාති සොහොයුරාය. 

බ්‍රේස්වෙල් සහෝදරයන් වන බ්‍රෙන්ඩන්, ජෝන්, ඩග්ලස් සහ මාක් 80 දශකයේදී නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල චරිත වූහ. ඔවුන් අතුරින් බ්‍රෙන්ඩන් බ්‍රේස්වෙල්, අද තරගයේදී ක්‍රීඩා කරන ඩග්ලස්ගේ පියාය. මාක් බ්‍රේස්වෙල්, පිට දඟ පන්දු යවන්නා වන මයිකල් බ්‍රේස්වෙල්ගේ පියාය. 

මයිකල් සහ ඩග්ලස් බ්‍රේස්වෙල් ඥාති සොහොයුරන් එකම ටෙස්ට් තරගයකදී ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. 

ලකුණු පුවරුව
 
නවසීලන්තය - පළමු ඉනිම 
ටොම් ලෙතම් - ඇ.ජයසූරිය ප.කසුන් රාජිත 21
ඩෙවොන් කොන්වේ - ඇ. සහ ප.ධනංජය 78
කේන් විලියම්සන් - නොදැවී 26
හෙන්රි නිකොල්ස්  - නොදැවී 18
අතිරේක 12
එකතුව - ඕවර 48 කදී කඩුලු 2 ක් දැවී 155
 
කඩුලු වැටීම : 
1-87(ලෙතම්), 2-118(කොන්වේ)
 
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ : 
ඩැරිල් මිචෙල්, ටොම් බ්ලන්ඩල්, මයිකල් බ්‍රේස්වෙල්, ඩග් බ්‍රේස්වෙල්, ටිම් සවුතී, මැතිව් හෙන්රි සහ බ්ලෙයාර් ටික්නර්
 
පන්දු යැවීම : 
කසුන් රාජිත 16-3-42-1
අසිත ප්‍රනාන්දු 12-4-33-0
ළහිරු කුමාර 10-1-49-0
ධනංජය ද සිල්වා 8-3-18-1
ප්‍රභාත් ජයසූරිය 2-0-03-0
 
ශ්‍රී ලංකා කණ්ඩායම : 
ඕෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිෂාන් මධුෂ්ක (කඩුලු රකින්නා), කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය සහ ළහිරු කුමාර
 

-213


අදහස් (0)

දෙවැනි තරගයටත් වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.