Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දුෂ්මන්ත - ළහිරු යළි කැඳවති

දුෂ්මන්ත - ළහිරු යළි කැඳවති

editorial - 2022 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර කැඳවා සිටිති. කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය ශාරීරික යෝග්‍යතාව මත රඳාපවතිනු ඇත.

විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් චමීර සහ ළහිරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවූහ. ඔවුන් දෙදෙනාගේ ආගමනයත් සමග ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් දිනාගත් අසිත ප්‍රනාන්දුට සහ මතීෂ පතිරණට ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී ඇත.

විස්සයි-20 ජාත්‍යන්තර තරග 50 කදී කඩුලු 48 ක් බිඳහෙළා ඇති චමීර, අවසන් වරට විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළේ මෙම වසරේ ජූනි මස 11 වැනිදා ඕස්ටේ්‍රලියාවට එරෙහිවය. ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කර තිබූ ශ්‍රී ලංකා සංචිතයටද ඇතුළත්ව සිටි නමුත් පුහුණුවීම් අතරතුර ඇතිවූ පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

මෙම වසරේ පෙරවාරි මස 27 වැනිදා ඉන්දියාවට එරෙහිව ධරම්ශාලාහිදී ක්‍රීඩා කළ විස්සයි-20 ළහිරු අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 තරගය විය. එම තරගයත් සමග විස්සයි-20 ජාත්‍යන්තර තරග 19 කදී කඩුලු 23 ක් බිඳහෙළා ඇති ඔහුට විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි-20 තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණ.

අසිතට සහ මතීෂට අමතරව ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අතරින් තුන් ඉරියව් ක්‍රීඩක අෂේන් බණ්ඩාරට සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමටද ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී ඇත. කෙසේ වුවත් ඔවුන් දෙදෙනාම ලෝක කුසලාන තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති අතර කණ්ඩායම සමග ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යනු ඇත.

ආසියානු කුසලාන තරගාවලියේදීත් අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ රැදී සිටි දිනේෂ් චන්දිමාල්ට සහ නුවනිඳු ප්‍රනාන්දුට ලෝක කුසලාන තරගාවලියේදීත් එම ලැයිස්තුවේම රැදී සිටීමට සිදුව ඇත. ආසියානු කුසලාන තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර වෙනුවට බිනුර ප්‍රනාන්දු මෙම තරගාවලියේදී අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක්ව සිටියි.

ආසියානු කුසලාන තරගාවලියේදී විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ වේග පන්දු යවන්නන් වන දිල්ෂාන් මධුෂංකට සහ ප්‍රමෝද් මධුෂාන්ට ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේද ස්ථාන හිමිව ඇත. ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වූ සංචිතයේ සිටි පිතිකරුවන් සියලු දෙනාම ලෝක කුසලාන සංචිතයටද ඇතුළත්ව සිටිති.

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කරනු ඇත. ආසියානු කුසලාන තරගාවලියේදී එක් තරගයකට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලද පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේද තවදුරටත් සංචිතයේ රඳවාගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන්
 
අතිරේක ක්‍රීඩකයෝ
අෂේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු  

 


අදහස් (0)

දුෂ්මන්ත - ළහිරු යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.