Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි පිලට කඩුලු 8 ක පහසු ජයක්

දිල්ලි පිලට කඩුලු 8 ක පහසු ජයක්

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 33 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (22 වැනිදා) ඩුබාහිදී පැවැති තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ශිකර් ධවාන් (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශ්‍රෙයාස් අයියර් (නොදැවී 47), ඉන් නොනැවතී නායක රිෂාබ් පාන්ට් (නොදැවී 35) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පන්දු 37 කට මුහුණදුන් ධවාන් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු රැස්කළ අතර පන්දු 41 කදී වාර්තා වූ අයියර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින්ද, පන්දු 21 කදී වාර්තා වූ පාන්ට්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය. එහිදී හයිද්‍රාබාද් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අබ්දුල් සමාඩ් පන්දු 21 කින් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස්කළ අතර රෂීඩ් ඛාන් පන්දු 19 කදී ලකුණු 22 ක් රැස්කළේද හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

ආරම්භක පිතිකරු රිධිමන් සාහා පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, නායක කේන් විලියම්සන් පන්දු 26 කදී හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගනිමින් හයිද්‍රාබාද් පිතිකරුවන් අසරණ කළේය. එහිදී ඔහුට අනගි සහායක් දුන් ඇන්රික් නොයේ සහ අක්සර් පටේල් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 134

(රිධිමන් සාහා 18, කේන් විලියම්සන් 18, මනීෂ් පාණ්ඩේ 17, අබ්දුල් සමාඩ් 28, රෂීඩ් ඛාන් 22, කගිසෝ රබාඩා 37/3, ඇන්රික් නොයේ 12/2, අක්සර් පටේල් 21/2)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 17.5 කදී කඩුලු 2 කට 139 

(ශිකර් ධවාන් 42, ශ්‍රෙයාස් අයියර් නොදැවී 47, රිෂාබ් පාන්ට් නොදැවී 35)

 


-036


අදහස් (0)

දිල්ලි පිලට කඩුලු 8 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.