Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මාස 8 කට පමණ පසුව පිටියට පිවිසියද ටෙස්ට් පිතිකරුවකුගේත් සීමිත ඕවර පිතිකරුවකුගේත් වෙනස කදිමට පැහැදිළි කර දුන් දිමුත් කරුණාරත්න (නොදැවී 132) කළ විශිෂ්ට පිතිහරඹයත්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී බංකුවට වී සිටි නමුත් අවස්ථාව ලැබුණු හැටියේම තමන්ගේ තරම පෙන්වූ ධනංජය ද සිල්වාත් එක්ව බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් අසහනයට පත්කරමින් සිටිති.
මේ වන විටත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා සිටින කරුණාරත්න සහ ධනංජය දෙදෙනා එක්ව, ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස මන්දාලෝකය නිසා කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 3 කට 267 ක් දක්වා ඉහළ දමා තිබිණ.
පසුගිය අපේ‍්‍රල් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ ඉනිම 3 කදී පිළිවෙලින් ලකුණු 244 ක්, 118 ක් සහ ලකුණු 66 ක් ලබාගත් දිමුත් කරුණාරත්න මාස 8 කට ඉහතදී නතර කළ තැනින් අද නැවතත් ආරම්භ කළේය. ඔහු අවසන් ටෙස්ට් ඉනිම 4 දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 560 කි.
තේ පානයෙන් පසුව ලකුණු 6 ක් ඇතුළත පිතිකරුවන් දෙදෙනකු දැවී ගියත් නොසැලී සිය ගමන ගිය කරුණාරත්න සිය 13 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. දිනය අවසන ආපසු කී‍්‍රඩාගාරයට ඒමට පෙර පැය 6 කට වැඩි කාලයක් (විනාඩි 376) පුරා පන්දුවට පහර දුන් දිමුත් පන්දු 265 කට මුහුණ දෙමින් ඒවායින් 13 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. ධනංජය පන්දු 77 කට මුහුණ දෙමින් කළ විනාඩි 102 ක පිතිහරඹයට හතරේ පහර 5 ක් ඇතුළත් කර තිිබිණ.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිල මෙවන් ස්ථාවර ස්ථානයකට කැඳවාගෙන ඒම සඳහා දිමුත් කරුණාරත්න සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ පැතුම් නිස්සංකගේ දායකත්වයද මැනවින් උපකාරී වූයේය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් සාර්ථක පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක අද දිනයේදී සැබෑ ටෙස්ට් පිතිකරුවකුගේ භූමිකාවට පිවිසෙමින් ලකුණු 56 ක් ලබාගත්තේ ඒ වෙනුවෙන් පැය තුනහමාරකට ආසන්න කාලයක් ගතකරමිනි.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහරදීම තෝරා ගත්තේය. එහි උපරිම ප‍්‍රයෝජන ලබාගත් නායකයා සහ නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ කොදෙව් පන්දු යවන්නන් මෙන්ම ප‍්‍රතිවාදී නායකයාත් අසහනයට පත්කරමිනි.
ආරම්භක සම්බන්ධතාව බිඳහෙළීමේ අරමුණ ඇතිව කොදෙව් නායකයා, දිවා ආහාරයට පෙර පන්දු යවන්නන් 6 දෙනකුම උපයෝගී කරගත් නමුත් එම කාලය ඇතුළතදී ඔහුට දවාගත හැකිවූ කඩුල්ලක් නොවීය. එහෙත් ඒ වන විටත් ඉනිමකට දී තිබෙන විනිසුරු තීරණ විමසීමේ අවස්ථා තුනෙන් දෙකක්ම ඔහු අහිමිකරගෙන සිටියේය.
60 දශකයේදී කි‍්‍රකට් ලොව දිග්විජය කළ චාලි ගිෆිත් සහ වෙස්ලි හෝල් වැන්නන්ගේ කාලයේ සිටම වේග පන්දු යවන්නන්ගේ රජදහනක් වූ බටහිර ඉන්දීය දූපත් සමූහයෙන් වත්මන් කණ්ඩායමට එක්ව සිටින දඟ පන්දු යවන්නෝ තිදෙනාම අද දිනයේ දිවා ආහාරයට පෙරම පන්දු යැවීමට ඉදිරිපත් වී තිබිණ. එහෙත් අත්කරගත හැකිවු ප‍්‍රතිඵල අල්ප විය.
මෙම තරගයේ කෝඩුකාරයා වන ජෙරමි සොලෝසානෝ දිමුත්ගේ පිත්තෙන් බලවත්ම පහර වැදුණ කී‍්‍රඩකයා වූයේය.
බොහෝ විටම සිදුවන පරිදි, වේග පන්දු යවන්නකු නොවන්නේ නම්, කෝඩුකාරයට සිදුවන්නේ පිතිකරුවා ආසන්නයේ, ෆෝවර්ඞ් ෂෝට් ලෙග් ස්ථානයේ නැතහොත් ඒ ආසන්නයේ පන්දු රැකීමටය. සොලෝසානෝත් සුපුරුදු සම්ප‍්‍රදායේම සාමාජිකයකු විය. එහෙත් දිමුත් කරුණාරත්නගේ ජවය පිරුණු පුල් පහරක් නිසා පිත්තෙන් නික්මුණු පන්දුව ෆෝවර්ඞ් ෂෝට් ලෙග්හි සිටි සොලෝසානෝහි හිස් ආවරණයේ වැදුණේ ඔහු මහත් කම්පනයට පත්කරමිනි.
ඒ මොහොතේදීම ගිලන් මැස්සක තබා රෝහලට ගෙන ගිය කෝඩුකාරයාට අද රාති‍්‍රය රෝහලේදීම ගතකිරීමට සිදුව තිබේ. හෙට උදෑසන ඔහුගේ තත්ත්වය විමසා බැලීමෙන් පසුව තරගයේ ඉතිරි කොටස ඔහුට අහිමි වෙනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.
විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට පිවිස සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අංක 5 පිතිකරුවා වන ධනංජය ද සිල්වාත් පළමු පෙළ කඩුලූ 114 ක හිමිකරුවෙකි. ඔහුගේ හොඳම පළමු පෙළ පන්දු යැවීම වන්නේ ලකුණු 57 කට කඩුලූ 7 ක් දවාගැනීමයි.
ගාල්ල වැනි දඟ පන්දු යවන්නන්ගේ තෝතැන්නක් වන කී‍්‍රඩාංගණයක කාසියේ වාසිය හිමිකරගැනීම තරගයෙන් අඩක් ජයගැනීමක් වැනිය. එහෙත් පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමේ පිතිකරුවන් අත තරගයේ තීරණය රැඳී තිබේ. මේ වන විටත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ එහි වාසිය මිට මොළවාගෙන සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.