Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
ඉන්දීය සංචාරය

දසුන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

editorial - 2023 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

නායක දසුන් ශානකගේ විශිෂ්ඨ දස්කම් හමුවේ ඉන්දියාවට එරෙහිව පූනේහි මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි. තරගය ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 21 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ඕවරය යැවීමේ වගකීම තම කර මතට පටවාගත් දසුන්, එය ලකුණු 4 කට සීමා කරමින් කඩුලු 2 ක්ද දවාගත්තේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයමිනි.

තමා යැවූ පළමු පන්දුවේදීම ඉෂාන් කිෂන් පිටියෙන් ඉවත් කළ කසුන් රාජිත, එම ඕවරයේදීම සෙසු ආරම්භක පිතිකරුවා වූ ශුබ්මන් ගිල්ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඉන් අනතුරුව තරගයේ පාලනය සියතට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, මුලු ලකුණු සංඛ්‍යාව 57 ක් වන විට කඩුලු 5 ක් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායම අමාරුවේ දැමූහ.

කෙසේ වුවත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අක්සර් පටේල් (65), සූර්යකුමාර් යාදව් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 91 ක්ද, ශිවම් මාවි සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 41 ක්ද එක්කරමින් ඉන්දියාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. පන්දු 31 කදී වාර්තා වූ පටේල්ගේ අර්ධ ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 51 ක් ලබා සිටි යාදව් දවාගැනීමට දිල්ෂාන් මධුෂංක සමත්වීමත් සමග ඉන්දීය කණ්ඩායම යම් තරමක පසුබෑමකට ලක්වුවද, ඉන් අනතුරුව පිටියට පිවිසි ශිවම් මාවි පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කරමින් පටේල් සමග එක්ව ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයටම රැගෙන ආවේය.

අවසන් ඕවරය යැවීම සඳහා පන්දුව අතටගත් දසුන් ශානක එහි මුල් පන්දු 2 ලකුණු 3 කට සීමා කරමින් තෙවැනි පන්දුවේදී පටේල් දවාගත්තේය. අනතුරුව එහි අවසන් පන්දුවේදී මාවිගේ ඉනිමද නිමාවට පත්කළ දසුන්, තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැදී සිටීමේ අවස්ථාව උදාකර දුන්නේය.

ඉන්දීය නායක හර්දීක් පාණ්ඩ්‍යාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව, දසුන්ගේ නායකත්වයේ පිතිහරඹය හමුවේ ඕවර 20 අවසන් වන විට ලකුණු 206 ක් ලබාගත්තේය. පන්දු 20 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ දසුන්, පන්දු 22 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

ලකුණු 30 ක් ලබා සිටියදී අර්ෂ්දීප් සිංගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි සූර්යකුමාර් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් දැවී ගියද, එය නිපන්දුවක් බවට තෙවැනි විනිසුරු සනාථ කිරීමත් සමග දසුන්ට තවදුරටත් කඩුල්ලේ රැදෙමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑම සඳහා අවස්ථාව උදා විය.

ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ අවසන් ඉනිම් 5 දී නොදැවීම් 4 ක් සමග ලකුණු 255 ක් රැස්කිරීමට දසුන් සමත්ව ඇත්තේ 205.64 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. මෙම තරගයේදී ඔහු ලබාගත් අර්ධ ශතකය විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලෙසද, ඉන්දියාවට එරෙහිව පිතිකරවෙක් ලබාගත් දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසද වාර්තා අතරට එක්විය.

මින් පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි-20 අර්ධ ශතකය ලබාගැනීමේ වාර්තාවේ සම අයිතිය මහේල ජයවර්ධන සහ කුමර් සංගක්කාර සතුවූ අතර මහේල 2007 වසරේදී කෙන්යාවට එරෙහිවද, සංගක්කාර 2009 වසරේදී ඉන්දියාවට එරෙහිව පන්දු 21 කින් එම අර්ධ ශතක ලබාගත්හ. දසුන්ට වඩා අඩු පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19 කින්) ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් ලබාගෙන තිබුණේ ඕස්ටේ්‍රලියාවේ කැමරන් ගීන්ය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් (52) සහ පැතුම් නිස්සංක (33) ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී පන්දු 31 කට මුහුණදුන් කුසල් හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 35 කදී වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. චරිත් අසංලක පන්දු 19 කින් වේගවත් ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 4 ක් සමගිනි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ත්‍රිපාති ප.අක්සර්     33
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා. ප.චාහල්     52
භානුක රාජපක්ෂ - ප.මලික්    2
චරිත් අසලංක - ඇ.ගිල් ප.මලික්    37
ධනංජය ද සිල්වා - ඇ.හූඩා ප.අක්සර්    3
දසුන් ශානක - නොදැවී     56
වනිඳු හසරංග - ප.මලික්    0
චාමික කරුණාරත්න - නොදැවී     11
අතිරේක     12
එකතුව ඕවර 20 කදී කඩුලු 6 කට     206

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ දිල්ෂාන් මධුෂංක

කඩුලු වැටීම :
1-80(කුසල්), 2-83(භානුක), 3-96(පැතුම්), 4-110(ධනංජය), 5-138(චරිත්), 6-138(වනිඳු)

පන්දු යැවීම :
හර්දීක් පාණ්ඩ්‍යා 2-0-13-0, අර්ෂ්දීප් සිං 2-0-37-0, ශිවම් මාවි 4-0-53-0, අක්සර් පටේල් 4-0-24-2, යුස්වේන්ද්‍ර චාහල් 4-0-30-1, උම්රාන් මලික් 4-0-48-3


ඉන්දියාව
ඉෂාන් කිෂන් - ප.රාජිත     2
ශුබ්මන් ගිල් - ඇ.තීක්ෂණ ප.රාජිත    5
රාහුල් ත්‍රිපාති - ඇ.මෙන්ඩිස් ප.මධුෂංක    5
සූර්යකුමාර් යාදව් - ඇ.හසරංග ප.මධුෂංක    51
හර්දීක් පණ්ඩ්‍යා - ඇ.මෙන්ඩිස් ප.චාමික    12
දීපක් හූඩා - ඇ.ධනංජය ප.හසරංග    9
අක්සර් පටේල් - ඇ.චාමික ප.ශානක       65
ශිවම් මාවි - ඇ.තීක්ෂණ ප.ශානක    26
උම්රාන් මලික් - නොදැවී    1
අතිරේක     14   
එකතුව ඕවර 20 කදී කඩුලු 8 කට     190

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
අර්ෂ්දීප් සිං සහ යුස්වේන්ද්‍ර චාහල්

කඩුලු වැටීම :
1-12(කිෂන්), 2-21(ගිල්), 3-21(ත්‍රිපාති), 4-34(පාණ්ඩ්‍යා), 5-57(හූඩා), 6-148(යාදව්), 7-189(අක්සර්), 8-190(මාවි)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-45-2, කසුන් රාජිත 4-0-22-2, චාමික කරුණාරත්න 4-0-41-1, වනිඳු හසරංග 3-0-41-1, මහීෂ් තීක්ෂණ 4-0-33-0, දසුන් ශානක 1-0-04-2


අදහස් (0)

දසුන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.