Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරති

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරති

editorial - 2021 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

කණ්ඩායමේ විශ්වාසනීයම පිතිකරුවා මෙන්ම නායකයාද වූ ටෙම්බා බවුමාත් ගෙදර ගියද ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ අභීත පිතිරහරඹයක නිරතවූ යානෙමන් මලාන් (121) සහ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කගීසෝ රබාඩා (16/2) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 67 ක ජයක් කරා තම පිල කැඳවාගෙන ගියහ. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මත ජයග්‍රාහකයන් තීරණය කෙරුණු මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් දකුණු අප්‍රිකානුවෝ එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළහ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම කගීසෝ රබාඩාගෙන් ලැබුණේ මරු පහරකි.

සිය පළමු පන්දු යැවීමේ වාරයේදීම ඕවර 6 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත් රබාඩා, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්‍ෂ දෙදෙනාම පිටියෙන් ඉවත් කළේය. ලකුණු සංඛ්‍යාව 19 ක් වෙද්දී තුන්වැනි කඩුල්ලත් බිඳ වැටුණු හෙයින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිස් එසවීමට කිසිදු අවස්ථාවක් නොවීය.

ඉතාමත් ධෛර්ය සම්පන්න පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 77 ක් ලබාගත්තේය. එහෙත් වර්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 41 කදී ලකුණු 265 ක් ලෙසින් සංශෝධනය කිරීමෙන් පසුව ලකුණු හඹා ගිය අසලංක, ස්ලොග් ස්වීප් පහරක් ගැසීමට යාමේදී ඩීප් මිඩ්විකට් හි සිටි ක්‍රීඩකයා උඩපන්දුව රැකගත්තේය. අසලංකගේ පන්දු 69 ඉනිම (ප්‍රවේගය 111.59) එතැනින් නිමා විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවසන් ඕවර 9 දී (පන්දු 54 කින්) ලකුණු 100 ක් අවශ්‍ය විය. කඩුලු 3 ක් පමණක් අතැතිව සිටි කණ්ඩයමකට එය පහසු ඉලක්කයක් නොවූවත්, තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් තමන් කෙරේ තවත් බලාපොරොත්තු රැඳවිය හැකිබව නැවත වරක් තහවුරු කළ චාමික කරුණාරත්න, පන්දු 23 කදී ලකුණු 36 ක් ලබාගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති එක්දින තරගයකදී, පළමුවෙන් පන්දුවට පහර දෙමින්, කඩුලු 6 කට ලකුණු 283 ක් ලබාගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානුවන්ට සතුටු වීමට ඕනෑතරම් කාරණා තිබිණ. කාසියේ වාසිය දිනාගත් නව නායක කේෂව් මහාරාජ්ගේ තේරීම නිවැරදි බව තහවුරු කළ යානෙමන් මලාන් (121), රීසා හෙන්රික්ස් (51) සහ හෙන්රික් ක්ලාසන් (43) ඕවර 47 කදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙම ලකුණු සංඛ්‍යාව කරා යාමේ පදනම දමා දුන්හ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ඉලක්ක විසිරී තිබිණ. ඔවුන් තණතීරුවේ මැද පන්දුව පතිත කළ හෙයින් පා ඉන්න පැත්තෙන් රිසි සේ ලකුණු ලබාගැනීමට මලාන්ට සහ හෙන්රිලා දෙදෙනාට ඕනෑතරම් කාලය තිබිණ. ඒ අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිටියේ පන්දු රැකීම ඉතාමත් දුර්වල මට්ටමක පැවතිණ.

ඉනිමේ 35 වැනි ඕවරය වන විටත් දකුණු අප්‍රිකානු ලකුණු වේගය තිබුණේ ලකුණු 5.00 ට පහළිනි. එහෙත් තමන් අත කඩුලු තිබීම නිසා අවසන් ඕවර 12 දී අනපේක්‍ෂිත ප්‍රහාරයක් දියත්කළ දකුණු අප්‍රිකානුවෝ එම ඕවර 12 න් ලකුණු 112 ක් උදුරා ගත්හ.

මස්පිඬු වේදනා දීම හේතුවෙන් වරෙක යානෙමන් මලාන් පිටිය මත ඇදවැටුණද ඔහු නැඟිට්ටේ වනිඳු හසරංග හමුවේ පිට පිටම ගැසූ හතරේ පහර දෙකක් සහ හයේ පහරකිනි. පැය තුනකට ආසන්න කාලයක් පිටියේ රැඳුණු 25 වියැති ආරම්භක පිතිකරුවා අද ලබාගත්තේ ඔහුගේ තුන්වැනි එක්දින ශතකයයි. අයර්ලන්තයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති එක්දින තරගයකදී නොදැවී ලකුණු 177 ක් ලබාගත් මලාන්, මේ වන විට එක්දින තරග 9 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 627 කි.

පිටියට පැමිණීමත් සමගින් ‘ස්වීප්’ පහර මනා ලෙසින් ප්‍රයෝජනයට ගත් හෙන්රික් ක්ලාසන් සිව්වැනි කඩුල්ල සඳහා මලාන් සමගින් එක්ව ලකුණු 86 ක් රැස්කළේය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 54 කට පමණි.

අවසන් ඕවර 7 දී දකුණු අප්‍රිකානුවන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 74 කි.

පළමු ඕවර 10 න් ලකුණු 50ක් පමණක් ලබාගත් දකුණු අප්‍රිකානුවන්ගේ ගෙල සිරකර ගැනීමට දඟ පන්දු යවන්නන් අපොහොසත් වීම එවන් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට සංචාරකයන්ට මනා පහසුවක් විය.

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.