Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රීපාටී - අයියර් කොල්කටා පිලට ජය ගෙනෙති

ත්‍රීපාටී - අයියර් කොල්කටා පිලට ජය ගෙනෙති

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාහුල් ත්‍රීපාටීගේ (නොදැවී 74) සහ වෙන්කටේෂ් අයියර්ගේ (53) වේගවත් අර්ධ ශතක හමුවේ අබුඩාබීහිදී අද (23 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල තවත් පන්දු 29 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

රාහුල් ත්‍රීපාටී පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. වෙන්කටේෂ් අයියර් පන්දු 30 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 53 ක් රැස්කරමින් කොල්කටා පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය.

පළමු කඩුල්ල සඳහා ශුබ්මන් ගිල් සමගින් පන්දු 18 කදී ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ වෙන්කටේෂ් අයියර් ඉන් නොනැවතී රාහුල් ත්‍රීපාටී සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 52 කදී ලකුණු 88 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.

මුම්බායි ඉන්දියන් පිල වෙනුවෙන් දැවී ගිය කඩුලු 3 ට හිමිකම් කීමට ජස්ප්‍රීට් බුම්රා සමත්වුද කොල්කටා පිතිකරුවන් හමුවේ ඔහු දැඩි ප්‍රහාරයකට ලක්විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ඔයින් මෝගන්නේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන් පිලට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 155 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ ක්වින්ටන් ඩි‘කොක් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 56 කදී ලකුණු 78 ක සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වුවද පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඔවුන්ට ලකුණු 150 සීමාවේ රැඳී සිටීමට සිදුවූහ.

ක්වින්ටන් ඩි‘කොක් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් සහ රෝහිත් ෂර්මා පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් ලබාගත් කරන් පොලාඞ් ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවිය.

ලොකී ෆර්ගසන් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මුම්බායි - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 155
(රෝහිත් ෂර්මා 33, ක්වින්ටන් ඩි‘කොක් 55, කරන් පොලාඞ් 21, ලොකී ෆර්ගසන් 27/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 43/2)

කොල්කටා - ඕවර 15.1 කදී කඩුලු 3 ක් දැවී 159
(වෙන්කටේෂ් අයියර් 53, රාහුල් ත්‍රීපාටී නොදැවී 74, ජස්ප්‍රීට් බුම්රා 43/3)


අදහස් (0)

ත්‍රීපාටී - අයියර් කොල්කටා පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.