Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍යාගිගේ අවසන් ඕවරය රාජස්ථාන් පිල දිනවයි

ත්‍යාගිගේ අවසන් ඕවරය රාජස්ථාන් පිල දිනවයි

editorial - 2021 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 32 තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඩුබායිහිදී අද (21 වැනිදා) පැවැති තරගයේදී කාර්තික් ත්‍යාගි විසින් යවන ලද විශිෂ්ඨ අවසන් ඕවරය හේතුවෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කණ්ඩායම සමත් විය. 

තරගය ජයගැනීම සඳහා පන්ජාබ් කණ්ඩායම අවසන් ඕවරයේදී අවශ්‍ය වූයේ ලකුණු 4 ක් පමණක් වුවත්, කඩුලු 2 ක් දවාගනිමින් එම ඕවර එක් ලකුණකට සීමා කළ කාර්තික් ත්‍යාගි තරගයේ ජයග්‍රහණය පන්ජාබ් කණ්ඩායමෙන් උදුරාගෙන රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නේය. එම දස්කම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ‍ලකුණු 120 ක වාර්තාගත සම්බන්ධතාවක් ‍ගොඩනැගීමට නායක ලෝකේෂ් රාහුල් (49) සහ මායන්ක් අගර්වාල් (67) සමත් වූහ. පන්දු 33 කදී වාර්තා වූ රාහුල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද, පන්දු 43 කදී වාර්තා වූ අගර්වාල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් විය. 

ඔවුන් දෙදෙනාග‍ේ දැවී යෑමෙන් පසුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඒඩ්න් මාක්‍රම් (නොදැවී 26) සහ නිකලස් පූරන් (‍32) සමත් වුවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. මාක්‍රම් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගද, පූරන් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගද ලකුණු රැස්කළහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 185 ක් ලබා ගත්තේය. එහිදී රාජස්ථාන් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 54 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට එවින් ලුවිස් (36) සහ යශස්වි ජයිස්වාල් (49) සමත් වූහ. 

පන්දු 36 කට මුහුණදුන් ජයිස්වාල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු රැස්කළ අතර අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී හර්ප්‍රීත් බ්‍රාර්ගේ පන්දුවක් හමුවේ මායන්ක් අගර්වාල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 21 කදී වාර්තා වූ ලුවිස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ මහීපාල් ලොම්රර් පන්දු 17 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. රාජස්ථාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය.
 
සෙසු පන්දු යවන්නන්ට පහර පිට පහර වදිද්දී දක්ෂ පන්දු යවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ලකුණු 32 කට කඩුලු 5 ක් බිඳහෙළු අතර එය විස්සයි20 තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය. රාජස්ථාන් පිතිකරුවන්ගෙන් අඩුවෙන්ම පහර කෑමකට ලක්වූ පන්දු යවන්නා වූ මොහොමඞ් සාමි කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 21 ක් පමණක් ලබා දෙමිනි.


රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 185

(එවින් ලුවිස් 36, යශස්වි ජයිස්වාල් 49, ලයෑම් ලිවිංග්ස්ටන් 25, මහීපාල් ලොම්රර් 43, අර්ෂ්දීප් සිං 32/5, මොහොමඩ් සාමි 21/3)

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 183

(ලෝකේෂ් රාහුල් 49, මායන්ක් අගර්වාල් 67, ඒඩ්න් මාක්‍රම් නොදැවී 26, නිකල්ස් පූරන් 32, කාර්තික් ත්‍යාගි 29/3)

 

-036

 


අදහස් (0)

ත්‍යාගිගේ අවසන් ඕවරය රාජස්ථාන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.