Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරග පාවාදීමේ පදනමක් නැතැයි විමර්ශන වීසිකරයි

තරග පාවාදීමේ පදනමක් නැතැයි විමර්ශන වීසිකරයි

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු හයකින් ඉන්දියාවට පරාජයවීම තරග පාවාදීමක් බවට හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පදනමක් නැති බව රජයේ නීතිපතිවරයා තහවුරු කර තිබේ. ඒ හේතුවෙන් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ක්‍රිඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය  විසින් කරන ලද පරික්ෂණ අවසන් කර තිබේ.

ජාත්‍යන්තරයේද අවධානය දිනා ගත් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස එවකට ක්‍රීඩා ඇමැතිධුරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට නියම කළේය.

ඒ අනුව ක්‍රියාත්මකවූ එම ඒකකය වසර 2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර,  මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙකුගෙන් හා එවකට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා මහතාද විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්තේය. එහිදී අරවින්ද සිල්වා මහතාගෙන් පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගන්නා ලදි.

වසර 2020 ජුනි-ජුලි කාලය අතර තුරදී ඔවුන්ගෙන් මෙම ප්‍රශ්නකිරීම් කෙරෙන අතර මහේල ජයවර්ධන යළි ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබියදී හදිසියේ එම විමර්ශන අත්හිටුවීමට තීරණය විය.

එතෙක් කළ විමර්ශන වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට යොමු කිරීමේදී ඔහුගේ නිගමනයවී ඇත්තේ හිටපු ඇමැතිවරයාගේ ප්‍රකාශයට පදනමකින් තොරවන බැවින් හා මෙම සිදුවීම අතීතයට බලපාන එකක් වන බැවින් විමර්ශන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

එසේ වූවත් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා තරග පාවාදීමේ චෝදනාව එල්ල කරමින් පැවැසුවේ ඊට අදාළ සියළු සාක්ෂි තමන් සතුව පවතින බවයි.

සත්කාරය දැරූ ඉන්දියාව සමග පැවැත්වූ ලෝක කුසලාන අවසන් තරගයක් බැවින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යයන්හි විශේෂ පුවතක් බවටද පත්විය.

මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී 2011 අප්‍රේල් 2 වැනිදා පැවැති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු හයක ජයක් ලැබීය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 274 ක ඉලක්කය කඩුලු හතරක් පමණක් දැවී පසුකර යාමට ඉන්දියාව සමත් විය.

මෙම තරගයේදී  නායක කුමාර් සංගක්කාර ලකුණු 48 ක් ලබාගත් අතර මහේල ජයවර්ධන නොදැවී ලකුණු 103 ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිමේදී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 91 ක් හා ගෞතම් ගම්බීර් ලකුණු 97 රැස් කළේය. එහිදී ලසිත් මාලිංග ලකුණු 42 කට කඩුලු දෙකක් බිඳ හෙළීය.

2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව වසර 2020 පෙබරවාරි 11 වැනිදා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ස්ථාපිත කෙරුණි. එහි ප්‍රධානියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාය.

මෙම ඒකකය යටතේ තරග පාවාදීමේ සිදුවීම් වලට අදාළ විමර්ශන ගණනාවක් ආරම්භ විය. ඒ අතර ක්‍රිකට් තරග පාවාදීමේ සිදුවීම් කීපයක්ද වේ.

2019 කත්මන්ඩු සාෆ් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමට එල්ලවී තිබෙන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ද මෙම විමර්ශන ඒකකය පරීක්ෂණයක් පවත්වා ගෙනයයි. එහිදී ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු පුහුණු පාපැදි දෙකක්ද මේ වනවිට විමර්ෂන ඒකකයේ බාරයට ගෙන තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව විමර්ශන ඒකකයේ කටයුතු මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ. එම තත්ත්වය හේතුවෙන් ඒකකයට පැමිණිලි බාර ගැනීම හා විමර්ශන පවත්වාගෙන යාමට ප්‍රායෝගිකව ගැටලු මතුවී තිබිම ඊට හේතුවයි.
 


අදහස් (2)

තරග පාවාදීමේ පදනමක් නැතැයි විමර්ශන වීසිකරයි
  • Ratne Thursday, 23 September 2021 11:13 AM

    කිසිඳු වගකීමකින් තොරව, වක්කඩ කටකින් පිට කරන ලද අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් වටිනා කාලය, මුදල් නාස්තිය මෙන්ම හිටපු ක්‍රීඩකයින් අපහසුතාවයට පත් කිරීමත්, රටට විශාල අවමානයක් එක් සිදුවිය. එහෙත් අසික්කිතයින් තව දුරටත් තප්පුලමින් යහතින් වැජඹේ. මෙවැනි වක්කඩද ගොදුරු කර ගන්නේ නම්, "කොවිඩ්" වෛරසයට ද යම් පිනක් ලබා ගත හැක...

    Reply 0       0

    fairoos Thursday, 23 September 2021 12:56 PM

    එතකොට මහින්දානන්දට එරෙහිව නඩුවක් පැවරිය හැකියි නේද?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.