
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් කමිටු සාමාජික සහ ‘ඒ’ පිලේ කළමනාකරු චමින්ද මෙන්ඩිස් මහතා පැවසීය. ප්‍රාන්ත තරගාවලියකට සහභාගි වීමට ඇති බැවින් ඔහු එම ඉල්ලීම කළේ යයිද චමින්ද මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඉන්දීය සංචාරය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (17) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මෙන්ඩිස් මහතා එසේ කීවේය.
“මෙම ‘ඒ’ කණ්ඩායම තේරීමට පෙර අපි චන්දිමාල් සමඟ සාකච්ඡා කළා. ඔහු අපිට කිව්වා ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුව සිටින නිසා ‘ඒ’ පිලෙන් නිදහස් කරන්න කියලා.”
“මාස තුනක් පමණ ප්‍රාන්තයක් වෙනුවෙන් ක්‍රීඩා කරනවා නම් හොඳයිනෙ. ඒ නිසා අපි ඔහුට ඒ සඳහා අවසර දුන්නා. නමුත් ඔහුට ප්‍රාන්ත කණ්ඩායමක් ලැබුණද කියන එක අපි දන්නෙ නෑ” යැයි මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසුවේ චන්දිමාල් විධායක කමිටුවෙන් ප්‍රාන්ත ක්‍රීඩා කිරීමට අවසර ඉල්ලා නොමැති බවත් සාමාන්‍යයෙන් ඒ සඳහා ප්‍රධාන විධායකවරයාට ලිපිය යොමු කරන බවත්ය.
අකිල ධනංජය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වියහැකි මට්ටමක සිටින බවත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඉන්දීය සංචාරයෙන් පසුව අකිල වඩාත් හොඳ තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ප්‍රධාන පුහුණුකරු රෝයි ඩයස් මහතා පැවසීය.
“අකිල මේ වන විට පියල් විජේතුංග සහ මා සමඟ වැඩ කරනවා. මම හිතන්නේ අකිල දැන් සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙන්නෙ. ඔහු හොඳින් පන්දු යවනවා”
“මම හිතන්නේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන මට්ටමක ඔහු ඉන්නවා. ඔහු තරගවලට සහභාගි වන විට පැරණි තත්ත්වයට එයි. මෙම ඉන්දීය සංචාරය ඒ සඳහා වඩාත් වැදගත් වෙයි” යැයි පුහුණුකරු අකිල සම්බන්ධයෙන් වැඩි දුරටත් පැවසීය.
ජාතික තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරමින් මීට මාස දෙකකට පමණ පෙර පැවසුවේ අකිල සුපුරුදු රිද්මයට පන්දු නොයවන නිසා අතිරේක ලැයිස්තුවට හෝ නම් නොකළ බවයි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සිවුදින තරග දෙකක් සහ එක්දින තරග පහක් ඇතුළත් තරග සංචාරය සඳහා ලබන අඟහරුවාදා (21 වැනිදා) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ඇතුළත්ව සිටි වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය 100% ක් සුව අතට පත්ව නොමැති වීම නිසා මාලින්ද පුෂ්පකුමාර සංචිතයට ඇතුළත් කර තිබේ. එක්දින තරගාවලියට ඇතුළත්ව සිටින වේග පන්දු යවන දුෂ්මන්ත චමීර පැරණි ආබාධයටම ලක්ව සිටින අතර ඔහු වෙනුවට ද වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක අෂාන් ප්‍රියංජන් පැවසුවේ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ ක්‍රීඩා කිරීම අභියෝගයක් බවයි.
“කණ්ඩායමේ සියලුම දෙනාට මෙම තරගාවලිය වැදගත්. ඒ වගේම සියලු දෙනාට මේක හොඳ අවස්ථාවක්. ඉන්දියාවේදී ඉන්දීය කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීම එතරම් පහසු නෑ. අපි පසුගිය සති දෙකේ ගොඩක් මහන්සිවෙලා පුහුණුවීම් කළා” යැයි ප්‍රියංජන් වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය: (සිව්දින තරග)
අෂාන් ප්‍රියංජන් (නායක), පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, සංගීත් කුරේ, භානුක රාජපක්‍ෂ, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, ලක්‍ෂාන් සඳකැන්, මාලින්ද පුෂ්පකුමාර, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය: (එක්දින තරග)
අෂාන් ප්‍රියංජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්‍ෂ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, අකිල ධනංජය, ලක්‍ෂාන් සඳකැන්, ඉෂාන් ජයරත්න, චාමික කරුණාරත්න සහ ළහිරු කුමාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.