Last Update  :  2025-07-30 20:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඞ්වේන් බ්‍රාවෝ සමුගනී

ඞ්වේන් බ්‍රාවෝ සමුගනී

editorial - 2021 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඞ්වේන් බ්‍රාවෝ තහවුරු කර තිබේ. 2018 වසරේදීද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බ්‍රාවෝ පැවසුවද 2019 දී ඔහු එම තීරණය වෙනස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ පැවැති ලෝක කුෂලාන තරගයේදීත් ලකුණු නොලබා දැවී ගිය ඞ්වේන් බ්‍රාවෝ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 5 කදී ලබාගත හැකිවූයේ ලකුණු 16 ක් සහ කඩුලු 2 ක් පමණි.

බ්‍රාවෝ ඔහුගේ අවසන් විස්සයි20 තරගය කැරිබියන් දූපත් සමූහයේ තැනකදී ක්‍රීඩා කරන බව මෙම වසර මුලදී නායක කරන් පොලාඞ් කියා සිටියද අයි.සී.සී. තරගාවලියෙන් පසුව අන්තර්ජාතික පිටියෙන් සමුගන්නා බව බ්‍රාවෝ මේ වනවිට තහවුරු කර ඇත.

“‍මම හිතන්නේ කාලය පැමිණ තියෙනවා. මම ඉතා හොඳ වෘත්තීය ජීවිතයක් ගත කළා. වසර 18 ක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළා. යම් යම් කාල වලදී උස් පහත්වීම් ඇති වුනා. නමුත් මම ඒ දෙස ආපසු හැරී බලන විට කලාපය නියෝජනය කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. එමෙන්ම කැරිබියානු ජනතාවට මම මහත්සේ කෘතඥ වෙනවා”‍ යයි බ්‍රාවෝ පැවසීය.

2012 සහ 2016 වසරවලදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායම් දෙකේම සාමාජිකයකු ලෙස බ්‍රාවෝ කටයුතු කළේය. හෙට (6 වැනිදා) ඕස්ට්්‍රලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇත.

බ්‍රාවෝ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් විස්සයි20 තරග 90 කට ක්‍රීඩා කරමින් ලකුණු 1245 ක් සහ කඩුලු 78 ක් දවාගෙන ඇත.

“අයි.සී.සී කුසලාන තුනක් දිනා ගැනීමට දායක වුනා. මෙහි වම් පසින් සිටින මගේ නායකයා (ඩැරන් සැමී) සමඟ දෙකක් දිනා ගත්තා. ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස අපට ගෝලීය වශයෙන් අපටම නමක් දිනා ගැනීමට හැකිවීම ගැන මට ආඩම්බරයි”‍ බ්‍රාවෝ පැවසීය.

ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයත් සමග බටහිර ඉන්දීය කොදෙව් පිලේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව අවසන් විය. නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඒ ගැන කලබල නොවිය යුතු බව බ්‍රාවෝ පවසයි.

“මට දැන් අවශ්‍ය වන්නේ තරුණ ක්‍රීඩකයින්ට මා සතුව ඇති අත්දැකීම් සහ තොරතුරු ලබා දීමටයි. මම හිතන්නේ සීමිත ඕවර තරග වලදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට දීප්තිමත් අනාගතයක් තියෙනවා. අපි දිගටම ක්‍රීඩකයින්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ව දිරිමත් කිරීම වැදගත් වෙනවා”

“‍එය අපි බලාපොරොත්තු වූ ලෝක කුසලානය නෙවේ. ක්‍රීඩකයන් ලෙස අපට අවශ්‍ය ලෝක කුසලානය නොවේ. අපි අප ගැනම අනුකම්පා නොකළ යුතුයි, එය දැඩි තරඟයක්, අපි අපේ හිස් ඔසවාගෙන සිටිය යුතුයි,”‍ බ්‍රාවෝ පැවසීය.

 

- 2079


අදහස් (0)

ඞ්වේන් බ්‍රාවෝ සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.