Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිව පාලනය කරන විදිහ අපි දන්නවා
ආසියානු කුසලාන

කෝලිව පාලනය කරන විදිහ අපි දන්නවා

editorial - 2022 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනා‍ගේ වටයේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ප්‍රභලම කණ්ඩායම ලෙස ඉන්දියාව හැඳින්විය හැකිය. මූලික වටයේදී තමන් නියෝජනය කළ කාණ්ඩවලින් සුපිරි වටයට පිවිසි සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග වැදීමෙන් අනතුරුව ‍ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (6 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසීමට නිමිතය.

ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවැති තරගයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලබාගත් කඩුලු 4 ක අති විශිෂ්ඨ ජයකින් අනතුරුව වුවත්, ඉන්දියාව මෙම තරගයට පිවිසෙන්නේ දින දෙකකට පෙර පාකිස්තානය හමුවේ ලැබූ කඩුලු 5 ක අහිමිහිරි පරාජයකින් අනතුරුවය. එබැවින් ඉන්දියාවට අවධානමකට ලක් නොවෙමින් තරගාවලිය තුළ රැදී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා විස්සයි-20 තරග තරග 25 ක් පැවැත්වී ඇති ඉන් 17 කදීම ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඉන්දියාව සමත්ව තිබේ. ශ්‍රී ලංකාව තරග 7 කදී ඉන්දියාව පරාජය කර ඇති අතර එක් තරගයක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී ඇත. එබැවින් අතීත වාර්තා දෙස බලන කළ ඉන්දියාව විස්සයි-20 තරග‍බිමේදී ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ අභියෝගය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ කියා සිටියේ මේ වන විට ලකුණු අතරට පැමිණ සිටින විරාට් කෝලි සහ හර්දීක් පාණ්ඩ්‍යා වේලාසනින් දවාගැනීම ඉන්දීයාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී තම කණ්ඩායමේ ප්‍රධානම අරමුණ බවය.

“කෝලියි, පාණ්ඩ්‍යායි මේ වෙනකොට හොඳ ෆෝම් එකක ඉන්නවා. ඕනම පිතිකරුවෙක් ලකුණු අතර ඉන්නකොට ඒක ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනයක්. ඒත් අපි දැකලා තියෙනවා කෝලි කොහෙන්ද ලකුණු ගහන්නෙ, කොහෙන්ද ලකුණු ගහන්නෙ නැත්තෙ කියලා. ඒ නිසා අපි දැනගන්න ඕන එ්ගොල්ලන්ගේ දුර්වල තැන්වලට පන්දු යවලා, එයාලා ලකුණු ගහන තැන්වලට පන්දු නොයවා ඉන්න.” යැයි භානුක කියා සිටියේය.

ඉන්දීය කණ්ඩායම සතුව බුවනේෂ්වර් කුමාර්, හර්දීක් පාණ්ඩ්‍යා, යුස්වේන්ද්‍ර චාහල් සහ රවිචන්ද්‍රන් අෂ්වින් වැනි විස්සයි-20 ජාත්‍යන්තර තරග 60 වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල පන්දු යැවීමේ බළෑණියක් පැවැතියද, ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින පන්දු යවන්නන් අතරින් විස්සයි-20 ජාත්‍යන්තර තරග 30 කට වඩා ක්‍රීඩා කර ඇත්තේ වනිඳු හසරංග පමණි. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භානුක කියා සිටි‍යේ ශ්‍රී ලංකා කණ්ඩයම සතුව සිටි ප්‍රධානතම වේග පන්දු යවන්නන් තිදෙනාම මේ වන විට ආබාධවලට ලක්ව සිටින බවත්, ඔවුන් වෙනුවට කණ්ඩායමට කැඳවා සිටින නවක පන්දු යවන්නන් විරාට් කෝලි සහ රෝහිත් ශර්මා වැනි ප්‍රබල පිතිකරුවන්ට එරෙහිව පන්දු යවා තම දක්ෂතා මුවහත් කරගත යුතු බවත්ය.

“අපේ වේග පන්දු යැවීමේ අංශය අලුත්. දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධවලට ලක්වෙලා සිටීම තමයි ඒකට හේතුව. මූලික වටයේ අපි ගහපු මැච් දෙකේදී වේග පන්දු යවන්නෝ තුන්දෙනෙක් විස්සයි-20 වරම් දිනාගත්තා. ඒත් එයාලා අත්දැකීමක් ලබාගන්න ‍ඕන කොහොමද හොඳ පිතිකරුවන්ට පන්දු යවලා, ගුටිකන එකෙන් බේරිලා ඉස්සරහට යන්‍නෙ කියලා.” යැයි භානුක පැවසීය.

පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 44 කින් ලකුණු 60 ක් රැස්කිරම‍ට කෝලි සමත් වූ අතර එය මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු පිට පිටම ලබාගත් දෙවැනි අර්ධ ශතකය විය. ‍එම ඉනිමත් සමග විස්සයි-20 තරග‍වල වැඩිම වාර සංඛ්‍යාවකදී ලකුණු 50 සීමාව පසුකර ගිය ක්‍රීඩකයා බවට පත්වීමටද කෝලිට හැකි විය. එහිදී ඔහු පසුකර ගියේ අවස්ථා 31 කදී ලකුණු 50 සීමාව පසුකර යමින් ඉන්දීය නායක රෝහිත් ශර්මා පිහිටුවා තිබූ වාර්තාවය. ශර්මා ශතක 4 ක් සහ අර්ධ ශතක 27 ක් ලබාගනිමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.

සුපිරි 4 දෙනා‍ගේ වටයේදී ඇෆ්ඝනිස්ථායට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට කිසිදු වෙනස්කමකින් තොරව මෙම තරගයටද ක්‍රීඩා කිරීමට නියමිතය. කෙසේ වුවත් පිට පිටම තරග 3 කදී ලකුණු 0 කට, 1 කට සහ 8 කට දැවී ගිය උප නායක චරිත් අසලංකට මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙන්වේද යන්න සැක සහිතය. ඔහු වෙනුවට පිට දඟ පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්වීමට ඉඩක් පැවතියද, ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නායක දසුන් ශානක ඉක්මන් නොවීය.

“කණ්ඩායමේ වෙනසක් වෙන්න ඉඩක් තියෙනවා. ඒත් ඒ ගැන අපි තවම අවසන් තීරණයක් අ‍රගෙන නෑ. ඒ නිසා මට දැන්ම ඒ ගැන හරියටම කියන්න බෑ. තේරීම් කමිටු නිලධාරින් අපිත් එක්ක ඉන්නවා. වෙනස් කම් ගැන ඒ අය සාකච්ඡා කරමින් ඉන්නවා. මට කියන්න පුළුවන් ධනංජයට මෙම තරගය ක්‍රීඩා කරන්න යම් අවස්ථාවක් තියෙනවා කියලා විතරයි.” යැයි චරිත්‍ගේ ඉවත් වීම සහ ධනංජයගේ එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තරගයට පෙර දිනයේදී පැවැති මාධ්‍ය හමුවේදී දසුන් කියා සිටියේය. 

කෙසේ වුවත් මෙම තරගයට සහභාගි වීමේදී පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ වෙනස්කමක් බලාපොරොත්තු විය හැකිය. එහිදී කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් වෙනුවට දිනේෂ් කාර්තික් කැඳවීමට‍ යම් ඉඩක් ඇතැත් පාන්ට් කෙරෙහි නායක රෝහිත් ශර්මා තවදුරටත් විශ්වාසය තබා සිටීම හේතුවෙන් එම වෙනස සිදුවීම අඩමාන තත්ත්වයක පවතී. තරගයට පෙර දිනයේදී පැවැත්වීමට තිබූ පුහුණු සැසිය පවා අවලංගු කර දැමූ ඉන්දීය කණ්ඩායම, විවේකී දිනයකින් අනතුරව අද තරගය සහභාගි වීමට නියමිතය.

 

ශ්‍රී  ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්  

ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, දීපක් හූඩා, හර්දීක් පාණ්ඩ්‍යා, බුව‍නේෂ්වර් කුමාර්, රවී බිෂ්නොයි, යුස්වේන්ද්‍ර චාහල්, අර්ෂ්දීප් සිං, දිනේෂ් කාර්තික්, අවේෂ් ඛාන්, අක්සර් පටේල් සහ රවිචන්ද්‍රන් අෂ්වින්


අදහස් (0)

කෝලිව පාලනය කරන විදිහ අපි දන්නවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.