Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි බැංගලෝර් නායකත්වයෙනුත් ඉවත් වෙයි

කෝලි බැංගලෝර් නායකත්වයෙනුත් ඉවත් වෙයි

editorial - 2021 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තමා තීරණය කළ බව මේ වන විට 32 වැනි වියේ පසුවන විරාට් කෝලි පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් අතර මඟ නතර කරන ලද මෙවර අයි.පී.එල්. තරගාවලිය ඊයේ (19 වැනිදා) යළිත් ආරම්භ වූ අතර බැංගලෝර් කණ්ඩායම අද (20 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නායකත්වයටද සමුදීමට තීරණය කළ බව කෝලි ඉකුත් සතියේදී පැවැසීය. විස්සයි20 නායකත්වයෙන් ඉවත් වුවද, තවදුරටත් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කිරීමට තමා බලාපොරොත්තුවන බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“බැංගලොර් කණ්ඩායම සමග නායකයකු ලෙස වසර 9 ක් පුරා පැමිණි ගමන දුක සතුට පිරුණු, අමතක නොවන ගමනක්. එහෙත් නායකයකු ලෙස කණ්ඩායමට මගේ දායකත්වය ලබාදෙන අවසන් වසර මෙය වේවි.” යැයි සිය ඉවත්වීමේ තීරණය දැනුම්දෙමින් කෝලි පැවසීය.

“මගේ ඉදිරි වැඩ කටයුතු කළමනාකරණය කරගන්න අවශ්‍ය නිසා මම ජාතික විස්සයි20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුණා. බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන එකත් ඒ දවස්වල ඉඳන් මගේ හිතේ තිබුණ දෙයක්.” යැයි කෝලි කියා සිටියේය.

“බැංගලෝර් කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමකට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් මට හිතාගන්නවත් බැහැ. ඒ නිසා මගේ අවසන් අයි.පී.එල්. තරගය දක්වාම මම බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරනවා. යැයි එහිදී කෝලි වැඩි දුරටත් සඳහන් කළේය.

2008 වසරේ සිට බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළ කෝලි, 2011 වසරේදී පළමු වරට කණ්ඩායමේ නායකත්වයට පත් විය. ඔහුගේ නායකත්වය යටතේ 2016 වසරේදී පැවැති අයි.පී.එල්. තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමටද බැංගලෝර් කණ්ඩායම සමත් විය.

මේ දක්වා මෙවර තරගාවලියේ තරග 7 කට ක්‍රීඩා කර ඇති බැංගලෝර් කණ්ඩායම ඉන් තරග 5 ක් ජයගෙන, 2 ක් පරාජයට පත්වී ලකුණු 10 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ප්‍රසාද ලකුණු 12 බැගින් ලබා සිටින චෙන්නායි සහ දිල්ලි කණ්ඩායම් පිළිවෙලින් එහි පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙති.


-036

 


අදහස් (0)

කෝලි බැංගලෝර් නායකත්වයෙනුත් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.