Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි - බුවනේෂ්වර් ඉන්දියාවට සැනසුම් සහගත ජයක් ගෙනෙති
ආසියානු කුසලාන

කෝලි - බුවනේෂ්වර් ඉන්දියාවට සැනසුම් සහගත ජයක් ගෙනෙති

editorial - 2022 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
 
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඇෆ්ඝනිස්ථානයට ‍එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයේදී විරාට්‍කෝලිගේ පිතිහරඹයත්, බුවනේෂ්වර් කුමාර්ගේ පන්දු යැවීමත් හමුවේ ලකුණු 101 ක සැනසුම් සහගත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම තරගය ජයගත්තද, මින් පෙර ක්‍රීඩා කළ තරග දෙකම පරාජය වූ බැවින් වසර 8 කට පසු ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවතට විසිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට බුවනේෂ්වර් කුමාර් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111 ක් පමණි. ‍ඇෆ්ඝනිස්ථාන ඉනිම අවසන් වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 59 කින් නොදැවී ලකුණු 64 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

සෙසු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට කිසිදු ඉඩක් නොදුන් ඉන්දීය පන්දු යවන්නෝ මුල් ඕවර 7 ක් අවසානයේ ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වූහ. එහිදී සිය හොඳම විස්සයි-20 පන්දු යැවීම ප්‍රදර්ශනය කළ බුවනේෂ්වර්, තමාගේ ඕවර 4 කඩුලු 5 ක් දවාගනිමින් ලකුණු 4 කට සීමා කළේ නිළකුණු ඕවරයක්ද සමගිනි. දීපක් හූඩා, අර්ෂ්දීප් සිං සහ රවිචන්ද්‍රන් අෂ්වින් එක් කඩුල්ල බැගින් බෙදාගත්හ.

පළමු ඕවරයේ සිවුවැනි සහ අවසන් පන්දුවලදී ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරුවන් ලකුණු ලබාගැනීමටත් පෙරාතුව පිටියෙන් ඉවත් කළ බුවනේෂ්වර්, ඉන්‍නොනැවතී තෙවැනි ඕවරයේ සිවුවැනි සහ අවසන් පන්දුවලදී කරීම් ජානට් (21) සහ නජිබුල්ලා සද්‍රාන්ද (0) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවුවේය. දිනේෂ් කාර්තික් අතට උඩ පන්දුවක් දෙමින් අස්මතුල්ලා ඔමර්සායි එක් ලකුණකට දැවී ගියේ බු‍වනේෂ්වර්ගේ පස්වැනි ගොදුර බවට පත්වෙමිනි.

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන නායක මොහොමඩ් නබීගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, විරාට් කෝලිගේ මංගල ශතකය (නොදැවී 122) හ‍මුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබාගත්තේය. එහිදී පන්දු 61 කට මුහුණදුන් කෝලි, හයේ පහර 6 කින් සහ හතරේ පහර 12 කින් සිය මංගල විස්සයි-20 ශතකය අලංකාර කළේය.
 
නිත්‍ය නායක රෝහිත් ශර්මා වි‍වේක ගැන්වීම හේතුවෙන් වැඩ බලන නායක ලෝකේෂ් රාහුල් (62) සමග එක්ව මෙම තරගයේදී ඉන්දීය ඉනිම ඇරඹූ කෝලි පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් නොනැවතුණ ඔහු, රිෂාබ් පාන්ට් (නොදැවී 20) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 87 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.

ෆරීඩ් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නජිබුල්ලා සද්‍රාන් අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳවැටිණ. ඒ වන විට පන්දු 41 කට මුහුණදී සිටි රාහුල්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වී තිබිණ. ෆරීඩ් අහමඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වදින විට තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් ලබා සිටියේ ලකුණු 6 ක් පමණි.

එහිදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩයමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ රෂීඩ් ඛාන්ට සහ මුජිබුර් රහමන්ට කඩුලු ලබාගැනීමට අවස්ථාවක් නොදුන් ඉන්දීය පිතිකරුවෝ, වේග පන්දු යවන්නන් දෙදෙනාටම එළව එළවා පහර දුන්නේ ඔවුන් දෙදෙනාගේ ඕවර 8 දී ලකුණු 108 ක් උදුරාගනිමිනි. ෆසාල්හක් සහ ෆරීඩ් යැවූ ඉන්දීය ඉනිමේ අවසන් ඕවර 4 තුළදී ලකුණු 67 ක් රැස්කිරීමටද කෝලි ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ.

ඉන්දියාව
ලෝකේෂ් රාහුල් ‍ඇ.නජිබුල්ලා ප.ෆරීඩ්    62
විරා‍ට් කෝලි - ‍නොදැවී     122
සූර්යකුමාර් යාදව් - ප.ෆරීඩ්    6
රිෂාබ් පාන්ට් - නොදැවී     20
අතිරේක     2
එකතුව ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී     212

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
‍දීපක් හූඩා, දිනේෂ් කාර්තික්, අක්සර් පටේල්, රවිචන්ද්‍රන් අෂ්වින්, දීපක් චාහර්, බුව‍නේෂ්වර් කුමාර් සහ අර්ෂ්දීප් සිං

කඩුලු වැටීම :
1-119(රාහුල්), 2-125(යාදව්)

පන්දු යැවීම :
ෆසාල්හක් ෆරූකි 4-0-51-0, මුජිබුර් රහමන් 4-0-29-0, ෆරීඩ් අහමඩ් 4-0-57-2, රෂීඩ් ඛාන් 4-0-33-0, මොහොමඩ් නබී 3-0-34-0, අස්මතුල්ලා ඔමර්සායි 1-0-08-0

ඇෆ්ඝනිස්ථානය
හස්රතුල්ලා සසායි - ක.මු. කළා ප.බුවනේෂ්වර්    0
රහ්මනුල්ලා ගුර්බාස් - ප.බුවනේෂ්වර්    0
ඊබ්‍රහීම් සද්‍රාන් - නොදැවී    64
කරීම් ජානට් - ඇ.කෝලි ප.බුවනේෂ්වර්     2
නජිබුල්ලා සද්‍රාන් - ක.මු. කළා ප.බුවනේෂ්වර්    0
මොහොමඩ් නබී - ක.මු. කළා ප.අර්ෂ්දීප්    7
අස්මතුල්ලා ඔමර්සායි - ඇ.කාර්තික් ප.බුවනේෂ්වර්    1
රෂීඩ් ඛාන් - ඇ.අක්සර් ප.හූඩා    15
මුජිබුර් රහමන් - ප.අෂ්වින්    18
ෆරීඩ් අහමඩ් - නොදැවී     1
අතිරේක     3
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී     111

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා :
ෆසාල්හක් ෆරූකි

කඩුලු වැටීම :
1-00(සසායි), 1-02(ගුර්බාස්), 3-09(ජානට්), 4-09(නජිබුල්ලා), 5-20(නබී), 6-21(අස්මතුල්ලා), 7-57(රෂීඩ්), 8-87(මුජීබුර්)

පන්දු යැවීම :

බුවනේෂ්වර් කුමාර් 4-1-04-5, දී‍පක් චාහර් 4-0-28-0, අර්ෂ්දීප් සිං 2-0-07-1, අක්සර් පටේල් 4-0-24-0, රවිචන්ද්‍රන් අෂ්වින් 4-0-27-1, දීපක් හූඩා 1-0-03-1, දිනේෂ් කාර්තික් 1-0-18-0


අදහස් (0)

කෝලි - බුවනේෂ්වර් ඉන්දියාවට සැනසුම් සහගත ජයක් ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.