Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ පළමු ඉනිම 138 කට සීමා වෙයි

කොළඹ පළමු ඉනිම 138 කට සීමා වෙයි

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා-රාත්‍රී තරගයේ තෙවැනි දිනය වූ අද (10 වැනිදා) කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 138 කට සීමා කිරීමට මහනුවර පන්දු යවන්නෝ සමත් වූහ.

තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. දිනය අවසානයේ මහේල උඩවත්ත හතරේ පහර 8 ක් සමග ලකුණු 36 ක්ද, නායක නිරෝෂන් දික්වැල්ල හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ අනුව මහනුවර කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 187 ක් ඉදිරියෙන් සිටියි.

මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු තරංග පරණවිතාන ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට ප්‍රමොද් මාකලන්ද සමත් වූයේ ධනංජය ද සිල්වාගේ සහායද ඇතිවය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් චරිත් අසලංක (3) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දිලේෂ් ගුණරත්න සමත් විය.

දෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත්වුණ අතර පළමු දිනය අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 37 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකිවූයේ ලකුණු 101 ක් පමණි. කෙසේ වුවත් අවසන් කඩුල්ල බිඳවැටීමට පෙර ඉනිම අත්හිටුවීමට කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පියවර ගත්තේය.

කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කෞෂාල් සිල්වා හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක් රැස්කළ අතර ෂෙහාන් ජයසූරිය හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ළහිරු තිරිමාන්න හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කළහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත සහ ඉසුරු උදාන කඩුලු 4 බැගින් බිඳහෙළමින් කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ. එහිදී කෞෂාල් සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඩිල්රුවන් පෙරේරා සහ තික්ෂිල ද සිල්වා දවගැනීමට ඉසුරු උදාන් සමත් වූ අතර ෂෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, වනිඳු හසරංග සහ කවීෂ්ක අංජුල දවාගැනීමට කසුන් රාජිත සමත් විය.

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 270
(චරිත් අසලංක 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, ප්‍රභාත් ජයසූරිය නොදැවී 23, වනිඳු හසරංග 40/4)

කොළඹ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 138
(කෞෂාල් සිල්වා 26, ෂෙහාන් ජයසූරිය 25, ළහිරු තිරිමාන්න 21, ඉසුරු උදාන 35/4, කසුන් රාජිත 67/4)

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 55  
(මහේල උඩවත්ත නොදැවී 36)

 


අදහස් (0)

කොළඹ පළමු ඉනිම 138 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.