Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි

කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා වෛද්‍ය උපදෙස් මත එම තරගාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.  


ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන් කොන් තරගාවලිය අතරතුර ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා කුසල්ට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගය අතරතුර පන්දුවට පහරදෙමින් සිටියදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක් වූ අතර එම තරගාවලියේ මුල් තරග 3 දීම ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ ඔහු, එහිදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කළේය.


කුසල් විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබුණද, තවමත් ඔහුගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව වී නොතිබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුට විස්සයි20 තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටින ලෙස උපදෙස් ලබාදී තිබීම නිසා මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වේ.


මේ දක්වා විස්සයි20 තරග 30 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කුසල් එහිදී අර්ධ ශතක 7 ක් සමගින් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 816 කි. 2013 වසරේ ඩුබාහිදී පාකිස්තානයට එරෙහිව රැස්කළ ලකුණු 84 කුසල්ගේ ඉහළම විස්සයි20 ඉනිම වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 27.20 ක්ද, ලකුණු ලබාගැනීමේ වේගය 133.55 ක්ද ලෙස සටහන් වේ.


කුසල්ගේ පෙරේරාගේ හිඩැස පිරවීම සඳහා යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විස්සයි20 කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 8 කට ක්‍රීඩා කර ඇති මෙන්ඩිස් එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 74 කි. ඔහු අවසන් වරට විස්සයි20 තරගයක් සඳහා සහභාගී වී ඇත්තේ 2017 වසරේ පෙබරවාරි මස ඕස්ටේ්‍රලියාවට එරෙහිවය.


දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය 15 වැනිදා ඩකාහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 18 වැනිදා ශිලාත්හිදී පැවැත්වේ.


අදහස් (0)

කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.