Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් එස්.එස්.සී. පිලට

කුසල් එස්.එස්.සී. පිලට

editorial - 2021 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මේ වනවිට ජාත්‍යන්තර සහ දේශීය තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් මීළඟ අන්තර් සමාජ දේශීය තරගාවලියේදී සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී) නියෝජනය කරන බව ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා ලංකාදීපයට පැවසීය.

එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමගින් එක්වීමට පෙර අවුරුදු 5 කට ආසන්න කාළයක් කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී) වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළේය.

“කුසල් මෙන්ඩිස් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වගේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔහු අත්‍යවශ්‍ය කෙනෙක්. ඔහුට තව අවුරුදු 10 ක් විතර ක්‍රීඩා කරන්න පුළුවන්. ඔහුගේ ඔළුව හදලා ආයෙත් ජාතික කණ්ඩායමට යොමු කරන්න තමා අපේ බලාපොරොත්තුව” යැයි කණ්ඩම්බි මහතා වැඩිදුරටත් පැවසීය.

එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුල බිඳීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධණුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනාටම වසරක අන්තර්ජාතික තරග තහනමක් පනවා තිබේ. ඊට අමතරව මාස 6 ක දේශීය තරග තහනමක් පනවා ඇති අතර එක් අයකු සඳහා රුපියල් කෝටියක දඩ මුදලක්ද නියම කර තිබේ. මේ සියල්ලට අමතරව තවත් වසර දෙකක අත්හිටවූ තරග තහනමක්ද ඔවුන්ට නියම කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ට පනවා ඇති තහනම සහ දඬුවම්, විනය පරීක්ෂණ කමිටුවෙන් කළ නිර්දේශ තරම් දැඩි නොවේ. ඔවුන්ගේ හැසිරීම සහ චර්යා රටාවන් ක්‍රීඩාව මෙන්ම රටේ කීර්ති නාමයත් අගතියට පත්කර ඇති බැවින් විනය කමිටුව විසින් නිර්දේශ කරන ලද්දේ වසර 2 ක අන්තර්ජාතික තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25,000 ක (රුපියල් ලක්‍ෂ 50 ක් පමණ) දඩමුදලකි.

මෙන්ඩිස් ඇතුළු අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාට මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමක් ලැබී තිබුනද ඉදිරියේදී ආරම්භවීමට නියමිත අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී හෝ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිට නැවතත් ක්‍රීඩාව සඳහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අන්තර් සමාජ පළමු පෙළ තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද මේ මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල හේතුවෙන් එය දින නියමයකින් තොරව කල්ගියේය.

 


අදහස් (0)

කුසල් එස්.එස්.සී. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.